(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව (Asia Pacific Regional Conference) ලබන පෙබරවාරියේ ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සමුළුව ලංකාවේ පැවැත්වීමේදී රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්ත්වය හා පසුව මෙරටට බලපෑ ආර්ථික අර්බුදය සහිත කාලයේ රටවල්  විශාල ප්‍රමාණයක නියෝජිතයන් සහභාගී වන අන්තර්ජාතික සමුළුවක් මෙරටදී පවත්වා නැති බැවින් මෙම සමුළුව ඉහළින් පැවැත්වීම සඳහා කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම සමුළුවට රටවල් 44ක නියෝජිතයින්  2000කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.