
දෙරට අතර උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, මධ්‍යම ආසියාවට අයත් රටක් ලෙස සැලකෙන උස්බෙකිස්තානයේ සංචාරයක නියැලුණි.
උස්බෙකිස්තානයේ අගනුවර ලෙස සැලකෙන ටෂ්කන්ට් බලා පැමිණි මෝදි ප්රමුඛ ඉන්දීය නියෝජිත කණ්ඩායමට, උස්බෙකිස්තාන ජනාධිපති ෂව්කාට් මිර්සියෝයෙව් ප්රමුඛ රජයෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති සැලසුම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, දීර්ඝකාලීනව උස්බෙකිස්තානයෙන් යුරේනියම් ලබා ගැනීමට සූදානම් වෙයි. මීට අදාළ විශේෂිත ගිවිසුමක් ද මෙම සංචාරයේ දී මෝදි සහ මිර්සියෝයෙව් අතරේ අත්සන් කෙරුණි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ උස්බෙකිස්තාන ජනාධිපතිවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම කෙරෙහි අවධානය යොමු වුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ද්වී පාර්ශ්වීක සාකච්ඡාවලදී දෙරටට වැදගත් වන තවත් ගිවිසුම් රැසකට ද අත්සන් තැබුණි. එම ගිවිසුම් කඩදාසිවලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි මාර්ග සිතියමක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍ය මෝදි, උස්බෙකිස්තාන ජනාධිපතිවරයාට අවධාරණය කළ බව ද මාධ්‍ය වාර්තා කර ඇත.
නගර සංවර්ධන ක්ෂේත්රය පිළිබඳව ද නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූ අතර, උස්බෙකිස්තානය දැනට ඉදිකරමින් පවතින ‘නව ටෂ්කන්ට්’ නගර ව්‍යාපෘතිය සඳහා ගුජරාටයේ ‘ගිෆ්ට් සිටී’ ආදර්ශයට ගන්නා ලෙසත්, ඒ පිළිබඳ අධ්‍යයනයකට උස්බෙකිස්තාන නියෝජිත පිරිසකට ඉන්දියාවට පැමිණෙන ලෙසත් ඉන්දීය අගමැතිවරයා ඇරයුම් කළේය.
‘ගිෆ්ට් සිටී’ යනු ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සහ ගාන්ධිනගර් නගර අතර පිහිටුවා ඇති ඉන්දියාවේ ප්‍රථම සැලසුම්සහගත ජාත්‍යන්තර මූල්‍ය හා තාක්ෂණික ස්මාර්ට් නගරයයි.
ඉන්දියාව සහ උස්බෙකිස්තානය අතර පවතින ආර්ථික සහ සංචාරක සබඳතා මේ වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වීම රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට හේතුවක් විය. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම ප්‍රථම වතාවට ඩොලර් බිලියනය ඉක්මවා ඇති අතර, ඒකාබද්ධ ව්‍යාපාර ප්‍රමාණය ද විශාල ලෙස වර්ධනය තිබේ.
මීට අමතරව, ඉන්දීය ජාතිකයන් සඳහා දින 30 දක්වා වූ වීසා රහිත ගමන් පහසුකම් ලබා දීමට උස්බෙකිස්තානය තීරණය කර ඇති අතර, දැනට දෙරට අතර සතියකට සෘජු ගුවන් වාර 14ක් ක්‍රියාත්මක වෙයි.
දෙරට අතර සබඳතා තවත් ශක්තිමත් කිරීම උදෙසා ලාල් බහදූර් ශාස්ත්‍රී සංස්කෘතික මධ්‍යස්ථානය සහ මහත්මා ගාන්ධි අධ්‍යයන මධ්‍යස්ථානය විශාල මෙහෙයක් ඉටු කරන අතර, 2018 වසරේ සිට ජාතික යෝග සම්මේලනයක් පවත්වාගෙන යන උස්බෙකිස්තානය තුළ යෝග ශාරීරක සුවතා ව්‍යායාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝග සම්මේලනය විසින් සංවිධානය කරන ලද යෝග වැඩසටහනකට ද සහභාගී විය.
උස්බෙකිස්තාන සංචාරය අවසන් කිරීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීම සඳහා කිර්ගිස්තානයේ බිෂ්කෙක් නුවර බලා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd