
(ආර්.එෆ්.එම්.සුහෙල් )
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගති.
මාසයකට අධික කාලයක් නුවරඑළිය ප්‍රාදේශ ලේකම් කාර්යාලයට උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් වෙනුවට මරණ සහතිකය අයදුම්පත ලබාදෙන බවත්, එහි සිංහල භාෂාවෙන් ඇති "මරණ" යන වචනය කපා එයට උඩින් ඉංග්‍රීසි භාෂාවෙන් "BIRTH" යනුවෙන් ලියා මහජනතාවට බෙදීමට ප්‍රාදේශ ලේකම් කාර්යාලයේ නිලධාරීන් කටයුතු කරනු ලබන බවත් ඔවුහු කියති.
තවද එක් භාෂාවක් පමණක් දන්නා මහජනතාව දැඩි සේ අපහසුතාවයට පත්වන බවත් උප්පැන්න සහතික පිටපතක් ලබා ගැනීමට යෑමේදී මරණ සහතික අයදුම් පතක් ලබාදීමේදී දැඩි ලෙස කම්පා වීමට සිදුවන බවත් මහජනතාව මැසිවිලි නගති ,
මෙම ගැටලුව පිළිබඳ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගකිවයුතු නිලධාරීන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් කියා සිටියේ උප්පැන්න සහතික පිටපත් ලබා ගැනීමේ අයදුම්පත් අවසන් වී ඇති බව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දුන්නද අවශ්‍ය සැපයුම ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.
COMMENTS
පුළුවන් ශ්‍රී ලංකා. මුළු රටම වැල්පාලමෙන් ගොඩ ගිහිං තියෙන හැටි ...
කිට්ටුව පිහිටි කාර්‍යාලයකින් තාවකාලිකව අවශ්‍ය අයදුම්පත් ප්‍රමාණයක් ගෙන්වාගෙන වැඩේ කරගන්න තරම් අවබෝධයක් මේ අයට නැද්ද?
රණ සහතිකත් ඉවර වුණාට පස්සේ කසාද සහතික පුරවන්න කියයි...
ආශ්චර්යමත් දේශය
අනේ අනේ! රනිල් මහත්තයා ගොඩ දැම්මා කිව්ව රට නේද මේ?
සමහර වෙලාවට බැංකු වලත් සල්ලි තැන්පත් පත්‍රිකා නැත්නම් චෙක් පත්‍රිකාවලින් ඒ වැඩේ කරනවා. දැන් මෙතැන එන මිනිස්සු හරවලා යවන්නේ නැතිව තියෙන විදිහට වැඩේ කරාම ඒකටත් බනිනවා. මොකද ලැබෙන සහතිකය වැරදි නෑනේ...!
ඔය දේ බොහෝවිට සිදුවන සුලබම දෙයක් යැයි කියන්න පුළුවන්.. ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට රෙජිස්ට්‍රාර් තනතුරු පැවැරීමට පෙර දිසාපති කාර්‍යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් කාර්‍යාලයේ ඔය තත්වය තිබුණා... ඒ කියන්නේ 1992ට පෙර කාලයේ එහෙම වුණා කියලා තමයි ඕක ගණන් ගතයුතු දෙයක් නොවෙයි. ඒවායේ ඔයිටත් වඩා බරපතල වැරැදි වෙනවා.. මම ඉතාමත් අත්‍යාවශ්‍යම දෙයක් සඳහා උප්පැන්න සහතිකයේ ඉංග්‍රීසි පිටපතක් ගැනීමට එක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක රෙජිස්ට්‍රාර් අංශයේ නිලධාරින්ට රුපියල් 1200/= ක් ගෙවා අයැදුම්පත් ඉදිරිපත් කලේ මීට මාස අටකට පමණ පෙර තමයි. අද දෙන්නම්, හෙට දෙන්නම් කිව්වා එය අවශ්‍ය තැනට දෙන්න බැරිවුණා... තවමත් එය මට ලැබුනේ නැහැ. ඒත් එහි ඉන්නේ දැනට ජනාධිපති තනතුර ලැබුණා කියලා හිස උදුම්මාගත් එයට කැපවූ පියුම් රාළහාමි කෙනෙක් ඉන්න තැනක තමයි... අන්තිමේ මම එය භාෂා පරිවර්තනය කරන කෙනෙක් ගෙන් ඉතාමත් සහන මිලට ගත්තා..
උප්පැන්න සහතිකයේ ඡායාපිටපත් ඇත්නම් බොහෝමයක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලින් අයදුම්පත්‍ර පිරවීමක් නැතුව උප්පැන්න සහතිකයේ පිටපත් ගන්න පුළුවන් ඒ හැර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගියත් ගන්න පුළුවන් ඒ පහසුව කරූ ජයසූරිය මැතිතුමා රාජ්‍ය පරිපාලන ඇමති හැටියට කරපු සේවයක් වෙනවා
මේක පුදුම රටක්
පුළුවන් ශ්‍රිලංකා කිය කියා කයිවාරු ගැහුවාට අවුරුදු 76 ක් කරලා අන්තීමට ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය විතරක් නොවෙයි උප්පැන්න සහතිකයක්වත් දී ගන්න බැරි තැනට රට පත්කරලා හමාරයි...
පුළුවන් ශ්‍රී ලංකා...!
මේ ඉල්ලුම් පත්‍ර දෙකේ මාතෘකාව වෙනස් වුනත්, ඉල්ලුම් පත්‍ර අන්තර්ගතය බෙහෙවින් සමානයි. එබැවින්, ඉල්ලුම් පත්‍ර හිඟ අවස්තාවක මෙවැනි දෙයක් කිරීමේ කිසිම ගැටළුවක් නැහැ.
ලංකාවේ බහුතර රාජ්‍ය ආයතන, පාසල්වල ඇතැම් ගුරුවරු පවා මිනිසුන්ගේ දරුවන්ගේ හදවත කඩා දාන වැඩ කරන්න කිසිම පැකිලීමක් නෑ. අලුතෙන් පාසලකට ඇතුළු වුණ මම අදුනන දරුවෙක්ගේ හදිසියේ නැති වුණා. ඒ දරුවාගේ අලුත් පාසලේ ප්‍රගති වාර්තාවේ පියාගේ අත්සන යොදලා තිබුනේ නෑ. අර අලුත් පාසලේ අංශභාර ගුරුවරයා ඒක දැකලා පෑනක් අරන් පියාගේ විස්තර කියන කොටස ඉරකින් කැපුවා. තමුන්ගේ පියා මිය ගිය අලුත ඒ වගේ තිරශ්චීන වැඩ කරන අයත් ඉන්නවා. දරුවා බොහෝම මානසිකව වැටුනා. අන්තිමට ඉස්කෝලෙ පවා යන්න බැහැ කියලා කිව්වා. පව් එහෙම කරන්න. ඒක මට මතක් වුනේ, උපත කියන්නේ සතුටේ එක් අන්තයක්, මරණය කියන්නේ මැරෙන්න ඔහොම මෙහෙම ඉන්න කෙනෙක් පවා හිතන්නට අකමැති දෙයක්. අපි කවුරුත් මැරෙන්න අකමැතියි. ඇයි දරුවෙක් ඉපදුනාම වගේ ජීවිතේ ලස්සනම මොහොතක මේ වගේ තක්කඩි වැඩ කරලා අර අහිංසක මිනිස්සුන්ගේ හදවත කඩා දමන්නේ? වහාම විනය ක්‍රියාමාර්ග අරගත යුතුයි.