ඇමෙරිකාවේ, නිව්යෝක් නගරය ද අයත් නිව්යෝක් ජනපදයේ රජයේ ප්‍රාථමික සහ කණිෂ්ඨ ද්විතීයික පාසල්වල කුඩා දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කිරීමේ අරමුණින් හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධි අධ්‍යාපන ක්‍රමවේද වසරක කාලයකට අත්හිටුවීමට, නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානී තීරණය කර ඇත.

ඒ අනුව පන්ති කාමර තුළ නව තාක්ෂණය භාවිතය සීමා වනු ඇතැයි ද පැවැසෙයි. මේ වනවිට  නිව්යෝක් ජනපදයේ රජයේ ප්‍රාථමික සහ කණිෂ්ඨ ද්විතීයික පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ, විවිධ අධ්‍යාපනික කෘත්‍රිම බුද්ධි (ඒ.අයි.) මෙවලම් 40 ක් පමණ භාවිතයට ගැනීම සිදුවෙයි. 

නිව්යෝක් නගරාධිපති සොහ්රාන් මම්දානී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, දරුවන්ට ඉගෙනීමට සහ වර්ධනය වීමට ගුරුවරුන්ගේ සහ මානව සබඳතාවල අවශ්‍ය බවත්, තනිවම ගැටලු විසඳා ගැනීමට දරුවන් හුරුවිය යුතු බවත්ය. ඒ අනුව, වසරක කාලයක් කෘත්‍රිම බුද්ධි මෙවලම් හරහා කරන ඉගැන්වීම් නැවැත්වීමට තමන් තීරණය කළේ යැයි මම්දානී මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

එසේ වුවත්, උසස් පාසල්වල සිසුන්ට යම් සීමා යටත්ව කෘත්‍රිම බුද්ධි (ඒ.අයි.) අධ්‍යාපන මෙවලම් භාවිත කිරීමට ඉඩ ලබා දී ඇතැයි ද පැවැසෙයි. එමෙන්ම ගුරුවරුන්ට පාඩම් සැලසුම් කිරීම සහ කාලසටහන් සකස් කිරීම වැනි කටයුතු සඳහා ඒ.අයි. තාක්ෂණය තවදුරටත් භාවිත කළ හැකි බව ද මම්දානී පැහැදිලි කර තිබේ.