(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )

වෙළඳපොලේ පවතින උග්‍ර බිත්තරයි හිගය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් මෙවර උත්සව සමයේ දී කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි .

මීට මාසයකට පෙර රුපියල් 1100 කට අලෙවි කළ කේක් කිලෝවක මිල රුපියල් 1,500 දක්වා මෙසේ ඉහළ යාමත් සමඟ උත්සව සමයේ කේක් සඳහා පවතින ඉල්ලුම ද සියයට 25 දක්වා අඩු වී ඇති බවත් ඔහු පැවසයි .

උග්‍ර බිත්තර හිගය නිසා ම උත්සව සමයේ දී කේක් ඉල්ලුම සපුරාලීමට නොහැකිවී ඇතැයි පවසන ජයවර්ධන මහතා මේ වන විට මහා පරිමාණයේ බේකරි කීපයක් හැර කුඩා ප්‍රමාණය බේකරි කේක් නිෂ්පාදනය කිරීම අතහැර දමා ඇතැයිද කීය .

උත්සව සමයේ දී කිසිදු බිත්තර හිගයක් ඇති නොවන බවට බිත්තර නිෂ්පාදකවරුන් ප්‍රකාශ කළත් විශේෂයෙන් උත්සව සමයේදී ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් බිත්තර සැපයීමට ඔවුනට නොහැකි වී ඇතැයි ද ජයවර්ධන මහතා කීය .