(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය වීමත් සමග පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය කඩාවැදීමට උත්සාහ කළ කෝපයට පත් ඉරාන හිතවාදී විරෝධතාකරුවන් පාලනය කිරීමට පාකිස්තාන හමුදා සිදුකළ වෙඩි තැබීමකින් 9 ක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

එසේම පාකිස්තානයේ ස්කාර්ඩු නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිරිපිට රැස්වූ විරෝධතාකරුවන් එම ගොඩනැගිල්ලට ගිනිතබා ඇතැයිද පාකිස්තාන මාධ්‍ය සඳහන් කළේය. ලාහෝර්හි පිහිටි ඇමෙරිකා කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිටද කමේනි ඝාතනයට එරෙහිව විරෝධතාකරුවන් රැස්වී ඇතත් එහි කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැතැයි එරට මාධ්‍ය පැවැසුවේය.

ඉස්ලාමාබාද් අගනුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රය අසලදී අද (01) දහවල් විරෝධතාවක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බවද පාකිස්තාන මාධ්‍ය ප්‍රකාශ කළේය.

එසේම ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ඇමෙරිකාව තානාපති කාර්යාල පරිශ්‍රය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් එම පරිශ්‍රයට ඇතුළත් වීමට උත්සාහ දරා ඇති බවත් එරට ආරක්ෂක අංශ එය සාර්ථවක වළකා ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.