
ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත්, ඉරානය සුන්නද්ධූලි කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමින් පැවැසීය.
එසේ වුවත්, ඉරානය සුන්නද්ධූලි කිරීම, තමන්ගේ අවසන් විකල්පය යැයි ද ට්‍රම්ප් සමුළුව අමතමින් අවධාරණය කළේය. ඉරානය සමග සාකච්ඡාවලට ප්‍රමුඛත්වය යොදවා ඇති බවත් එම සාකච්ඡා සාර්ථක වනු ඇතැයි තමන්ට පෙනී යන බවත් නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේ පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් වැඩි දුරටත් කියා සිටියේය.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්රමුඛ නියෝජිත කණ්ඩායමක් ද නිව්යෝක් නුවර පැවැත්වෙන 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වෙයි.
මාස හතක් තිස්සේ ඔඩුදුවන ඇමෙරිකා ඉරාන අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීම සිදුවන්නේ, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්ගේ ප්‍රධානත්වයෙනි. නිව්යෝක් නුවරදී විට්කොෆ් ප්රමුඛ ඇමෙරිකන් නියෝජිතයන් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්රමුඛ ඉරාන නියෝජිතයන් අතරේ හමුවක් පැවැත්විණි. එම හමුව සාර්ථක වූ බව ද ට්‍රම්ප් ජගත් සමුළුව අමතමින් පැහැදිලි කළේය.
ඉරානය විසින් අවහිර කළ හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම එම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාව විය. ඊට අමතරව, කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ඉරානය සහ අරාබි ගල්ෆ් රටවල් අතර පොදු ආරක්ෂක රාමුවක් සකස් කිරීමේ යෝජනාවක් ද ඇමෙරිකා සහ ඉරාන නියෝජිතයන් අතරේ අවධානයට ලක් විය.
ලබන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයට පෙර හෝ ඊට පසුව ඇමෙරිකා ඉරාන අර්බුදය අවසන් වනු ඇතැයි තමා විශ්වාස කරන බව ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණි. මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ, ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd