(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉන්ධන සඳහා රජයෙන් දෙන සහනාධාරය මේ මාසයෙන් පසු අවසන් වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසූහ.

මුදල් කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ කේ සෙනවිරත්න මහතා මෙහිදී පැවසුවේ සහනාධාරය වැඩි කිරීමට තවමත් තීරණයක් ගෙන නැති බවයි

දැනට එය තියෙන්නේ සියය ඇතුළේ පමණක් බවද ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා සිනාමුසුව පැවසුවේ ඔබ ආදා වගේ ලිස්සා යන බවයි.

තෙල් මිලදී ගැනීම හරියට කළමනාකරණය නොකළහොත් මිල ගණන් ඉහළ යෑමෙන් බඩු මිල ඉහළ යනු අැති බව මුදල් කාරක සභා සභාපතිවරයා පැවසීය.

තෙල් සඳහා සහනාධාරය බිලියන පනස් හතක් ඇති හෙයින් එය දෙන්නේ කෙසේදැයි හර්ෂද සිල්වා මහතා විමසුවේය.

මෙහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරැණා මහතා පැවසුවේ ඩීසල් ලීටරයකට රුපියල් සීයක් සහ පැට්‍රල් ලීටරයකට රුපියල් 20 ගාණේ ලැබෙන බවයි

සහනාධාරය දීම පටන් ගත්තේ අප්‍රේල් 01 වැනිදා බවද ඔහු පැවසුවේය

අප්‍රේල් මාසය වනවිට ඩීසල් ලීටරයකින් එකසිය විසි නවයක අලාභයක් ඇති බවත් රුපියල් සීයක් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන බවත් සංස්ථා සභාපතිවරයා කීය

එවිට සංස්ථාවට රැපියල් විසි නවයක පාඩුවක් අැති බව ඔහු පැවසීය

පිරිපහදුවේ ලාභයක් එක්ක සංස්ථාවට පාඩුවක් නැතුව යා හැකි බව රාජකරැණා මහතා පැවසීය.

මුදල් කමිටුවේ සභාපති යළි අදහස් දක්වමින් “ සහනාධාරය ඉවර වුණොත් ජුනි මාසයෙන් පස්සෙ නැවත සල්ලි දෙන්නෙ නැති බව නේද ඔය කියන්නේ. දෙනව නම් දෙන්න වෙන්නේ අස්වැසුම හරහා” යනුවෙන් පැවසීය.

‘අස්වැසුම වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවාද. ඔබලාට අවශ්‍ය වුණොත් අයවැය පරිපූරකයක් දාලා කරගන්න පුළුවන්නෙ. අපි විරුද්ධ වෙන්නේ නැහැ ඒකට. හැබැයි නිෂ්පාදන වියදම වැඩි වෙන්න ඉඩ තියෙනවා.”

මෙහිදී අදහස් දැක්වූ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජූඩ් නිලූක්ෂාන් මහතා පැවසුවේ එය සලකා බල හැකි බවයි.

මේ තොරතුරු අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය