(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරන්නේ යැයි ඇතමුන් කරන ප්‍රකාශ වගකීමෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බවත් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ නිසා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට ජාත්‍යන්තර වශයෙන් දැඩි හානියක් සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා 'ලංකාදීප' යට පැවසීය.

ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට බාල ඉන්ධන ආනයනය කර ඇත්නම් එය පෞද්ගලික බස් රථ වලට පමණක් නොව යන්ත්‍ර සූත්‍ර, දුම්රිය, ලංගම බස් රථ සහ සුඛෝපභෝගී බස් රථවලට ද බලපෑම් කළ යුතු බවත් ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව කිසිදු පැමිණිල්ලක් මේ දක්වා නිල වශයෙන් ලැබී නොමැති බවත් සභාපතිවරයා අවධාරණය කළේය.

ඉන්ධන ආනයනය කිරීමේදී මිලදී ගන්නා පර්යන්තයේ සිට වෙළඳපොළට නිකුත් කරන අවස්ථාව දක්වා ස්වාධීන පරීක්ෂකයන් යටතේ අවස්ථා කීපයකදී ඉන්ධනවල ප්‍රමිතිය සහතික කරන බව කී සභාපතිවරයා කිසියම් සැකයක් ඇති වුවහොත් මිලදීගැනීමේ පර්යන්තයෙන් මුද්‍රා තබා රැගෙන එන ඉන්ධන සාම්පලය ද පරික්ෂා කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ආනයනය කරන ඉන්ධන ශ්‍රී ලංකාවේදී ටැංකිවල ගබඩා කිරීමට පෙර එම ටැංකිවල ඇති ඊට පෙර ආනයනය කළ ඉන්ධන ද පරීක්ෂාවට ලක්කරන බවත් ප්‍රවාහනය කරන බවුසරය තුළදී හෝ කිසියම් ද්‍රව්‍යයක් මිශ්‍ර නොවීමට වගබලා ගන්නා බවත් සභාපතිවරයා කීය.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස තමා පත්වීමෙන් පසුව එහි පරීක්ෂණාගාරයට අයි.එස්.ඕ. ප්‍රමිති සහතිකය ද ලබාගත් බව පැවසූ සභාපතිවරයා සඳහන් කළේ ඉන්පසුව වෙනත් රටවල නැව් සමාගම් සිය පරීක්ෂණාගාරයේදී කළ ඉන්ධන පරීක්ෂණ 380 කින් මිලියන ගණනක ආදායමක් ලබාගෙන ඇති බවත්ය. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ජාත්‍යන්තර වශයෙන් නමක් දිනා ගනිමින් සිටින මෙම අවස්ථාවේදී මෙවැනි බොරු ප්‍රචාර කිරීමෙන් දැඩි හානියක් සිදුවන බවත් එම තත්ත්වය රටට සිදුවන හානියක් බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.