(ඩයනා උදයංගනී)

ඉන්ධන නොමැතිවීම හා විදුලි කප්පාදුව හේතුවෙන් තේ කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇතැයි තේ කර්මාන්තකරුවෝ පවසති.

ඉන්ධන හිඟවීම හේතුවෙන තේ දළු නිසිවේලාවට ප්‍රවාහනය කිරීමට නොහැකිවීම, තේ පැල හා පොහොර ප්‍රවාහනයට හා තේ නිෂ්පාදන වෙළඳපල වෙත ගෙනයාමට බාධා ඇතිවීම, විදුලි කප්පාදුව සිදුවන කාලයේදී තේ කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි ජනක යන්ත්‍රයන්ට (ජෙනරේටර්) අවශ්‍ය ඉන්ධන නොමැතිවීම ආදිය හේතුවෙන් තේ වතු හිමියන් මෙන්ම කර්මාන්තශාලා හිමියන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම කර්මාන්තකරුයෝ සඳහන් කරති.

සමස්ත ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ තේ දළු නෙලීමෙන් පසු ඒවා එදිනම කර්මාන්තශාලාවට ගෙනැවිත් දළු ඇඹරීම ඇතුළු නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ යුතු බවත්, ඉන්ධන අර්බුදය නිසා එම කාර්යයට දැඩි බාධා එල්ල වී ඇති බවත්ය.

තේ දළු මැලවීමට පෙර ඇඹරීමට නොහැකිවුවහොත් තේවල රසය හා ගුණාත්මය අඩු වන බව කී හේරත් මහතා එයින් තේ අපනයනයට ද බලපෑම් එල්ල විය හැකි බව කීවේය.

මේ දිනවල රුසියාවට සිදුකරන තේ අපනයනයන්ට ද බාධා එල්ල වී ඇති තත්වයක් තුළ මෙරට තේවල ගුණාත්මය අඩු වුවහොත් සෙසු වෙළඳපලවලට තේ අපනයනය කිරීම ද ගැටලුවක් විය හැකි බව හෙතෙම පැවසීය.

තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථවලට දුෂ්කරතා මධ්‍යයේ පෝලිම්වල සිට හෝ ඉන්ධන ලබාගන්නා නමුත් කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම දැඩි ගැටලුවක් වී ඇතැයි සභාපතිවරයා කීවේය.

විදුලි කප්පාදුව හේතුවෙන් විදුලි ජනක යන්ත්‍ර මගින් තේ කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පමණක් පැයකට ඉන්ධන ලීටර 30ත් 35ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඒ අනුව පැය 5ක විදුලි කප්පාදුවක් සිදුවුවහොත් ඉන්ධන ලීටර 200ක් පමණ අවශ්‍ය වන බවත් හෙතෙම සඳහන් කළේය.