(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු දූත පිරිස ඉදිරිපත් කළ සාම ගිවිසුම් යෝජනාවට ඉරානය එකඟවන තෙක් ඇමෙරිකාව ඉරානයට අඛණ්ඩව බෝම්බ හෙළනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අනතුරු ඇඟවූවේය.

ඉරානය ඇමෙරිකාව ලබාදුන් සාම ගිවිසුම් යෝජනාවට එකඟතාවය නොදී බොහෝ කාලයක් ගත් බවත් ඒ වෙනුවෙන් ඉරානයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ජනපති ට්‍රම්ප් අනතුරු අඟවමින් ප්‍රකාශ කළේය.

ඉරානය ඇමෙරිකානු හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බිම දැමීමෙන් පසුව දෙවැනි වතාවටත් ඊයේ (10) රාත්‍රියේ ඇමෙරිකාව ඉරානයට දැඩි ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඊට පිළිතුරු ලෙස ජෝර්දානයේ, බහරේනයේ සහ කුවේටයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරු වෙත ඉරානය ද නැවත වරක් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ප්‍රහාර එල්ල කරමින් ඉරානය ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ එෆ්-35, එෆ්-15 සහ එෆ්-16 ප්‍රහාරක ජෙට් යානා නවත්වා ඇති ස්ථාන වෙත බැලැස්ටික් මිසයිල 12 ක් යොදා ගනිමින් පහර දුන් බවත් ඇමෙරිකානු හමුදාවට අයත් අල් අස්රක් ගුවන් හමුදා කඳවුරට මෙන්ම ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා මූලස්ථානයටද ප්‍රහාර එල්ල කළ බවත්ය.

එහිදී ඇමෙරිකානු හමුදාවේ ගුවන් යානා කීපයක් විනාශ කර දැමීමට හැකියාව ලැබුණු බවත් හමුදාවට අයත් ගොඩනැගිලිවලටද සැළකිය යුතු හානියක් සිදුවූ බවත් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.

ඉරානය කුවේටයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත පහරදීමත් සමග ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කළ අතර ගුවන් කලාපය වසා දැමීම පැය කීපයකට පමණක් සීමා වූවේය.

ඇමෙරිකාව නැවත වරක් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමග ඉන්ධන ප්‍රවාහන නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමුණු බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට පැමිණීම සතුරාට උදව් කිරීමක් බවද එම නිවේදනයේ සඳහන් විණි.

කෙසේ නමුත් තවත් නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු හමුදා මූලස්ථානය ප්‍රකාශ කර සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත බවත් ඒ හරහා නෞකාවලට යාත්‍රා කළ හැකි බවත්ය.