
(අංජුල මහික වීරරත්න)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(11) නිකුත් කරන ලද නවතම කාලගුණ වාර්තාවට අනුව, පසුගිය ජූනි මස 08 වන දින සිට පැවති අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පවතින බැවින් දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතවීමේදී අතිශය සුපරීක්ෂාකාරී වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ පිළිබඳව විශේෂ කරුණු පැහැදිලි කරමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මෙසේ පැවසීය.
"පසුගිය අටවැනිදා සිට අප දැනුම් දුන් පරිදිම, කන්කසන්තුරය සහ මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉතා ඉහළ මට්ටමක පැවතිය හැකියි. මේ හේතුවෙන් මුහුදු රළ ඉතා රළු විය හැකි බැවින් වෙරළාසන්නයේ රැකියාවේ නිරත වන කුඩා ධීවර යාත්‍රාවලට ආරක්ෂිතව රැකියාව කිරීමට කිසිසේත්ම යෝග්‍ය තත්ත්වයක් නැහැ. එබැවින් නැවත දැනුම් දෙන තුරු එම කලාපයේ ධීවර රැකියාවේ නොයෙදෙන ලෙස අපි නැවතත් දැඩිව ඉල්ලා සිටිනවා."
එසේම කල්පිටිය සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු ස්වභාවයක් ගත හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. එම ප්‍රදේශවල ධීවරයින්ගේ ජීවනෝපාය පිළිබඳව සලකා බලා ධීවර කටයුතු පූර්ණ වශයෙන් තහනම් නොකළ ද, මුහුදු යාමට පෙර පවතින සුළඟේ වේගය හා රළ ස්වභාවය පිළිබඳව පෞද්ගලිකව සැලකිලිමත් වන ලෙසත්, ආරක්ෂිතව රැකියාව කළ හැකි මට්ටමක පවතින්නේ නම් පමණක් මුහුදු යන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
ජීවිතාරක්ෂක කබා (Life Jackets) පැළඳීම අනිවාර්යයි:
දිවයින වටා ඕනෑම මුහුදු ප්‍රදේශයක ධීවර කටයුතුවල නිරත වන සෑම ධීවරයෙකුම, ගොඩබිමෙන් පිටත්වීමේ සිට රැකියාවේ නිරත වන කාලය සහ නැවත පැමිණෙන තෙක් සම්පූර්ණ ගමන් වාරය පුරාවටම ජීවිතාරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය බව ධීවර දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ඕනෑම හදිසි අනතුරකදී ජීවිතය සුරක්ෂිත කර ගැනීමට ඇති ප්‍රධානතම ක්‍රමවේදය මෙය බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සිහිපත් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව මගින් වරින් වර නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, පවතින අවදානම් තත්ත්වය හමුවේ තම ජීවිත හා දේපළ ආරක්ෂා වන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd