(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි  විසිලක්ෂයක  පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන්  වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

ඔහුගෙන් එම මුදල වහාම  අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය   තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

පොඩි පොඩි විදුලි බිල් නොගෙවන අහිංසක මිනිස්සුන්ට ගෙවල් වලටම ඇවිත්  පාට් දාන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කෝටි ගණනින් විදුලි බිල් නොගෙවන ඇමැතිවරුන්ගේ ගෙවල්වලට  කිසිදිනක නොයන බව පැවසූ මන්ත්‍රීවරයා විදුලි බිල් නොගෙවන
තවත් ඇමැතිවරුන් සිටින බවද ප්‍රකාශ කළේය.

ඒ අයගේ එම  හිඟ බිල් ද  වහාම අයකරගත යුතු බව ඔහු සඳහන් කළේය. රටේ විශාල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ඒ උදවියට රජයේ මුදල් සමග සෙල්ලම් කිරීමට ඉඩ නොදිය යුතු බව හෙකටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් පැවසීය.