(අංජුල මහික වීරරත්න)

ජනතාව ඉල්ලන" සිස්ටම්" වෙනසට දේශපාලඥයින් එකඟ වුවද ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරන බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජ්‍ය යාන්ත්‍රණය රටට වාසිදායක ලෙස පවත්වා ගෙන යාමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස ඉටු නොකරන බව ද අමාත්‍යවරයා කීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන වසර 5ක් යනතුරු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී කණගාටුව පළ කළේය.

පසුගිය සමයේ ජනතාව පාරට බැස්සේ සැබවින්ම ඔවුන් පීඩාවට පත්වු නිසා බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණීමට නොහැකි පාර්ශව ගෙවල් ගිනි තබා, ගහලා මරලා, අසරණ මිනිසුන්ගේ කර මතින් බලය ලබා ගැනීමට උත්සහ කළ බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.