
(මනෝප්‍රිය ගුණසේකර)
අධිකරණයේ කටයුතු විවේචනය කරමින් කැබිනට් ආමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී කරන ලද චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැළඹීමට පත්ව සිටින බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව කරන ඕනෑම ආකාරයක අයුතු මැදිහත්වීමක් අතිශය බැරෑරුම් වන බවත් එයින් මහජන විශ්වාෂය පළුදු විය හැකි බවත් සඳහන් කර ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීය කෙරෙහි ඇති මහජන විශ්වාෂය පළුදු වන ආකාරයේ ප්‍රකාශය නිකුත් කිරීම හෙළා දකින බවද වැඩි දුරටත් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න උප සභාපති ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස භාන්ඩාගාරික චමත් කුමාර ජයසේකර සහ උප ලේකම් මිහාන් කරීම් යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරයකුගේ ක්‍රියා පිළිවෙල සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයකු පාර්ලිමෙන්තුවේදී චෝදනා මුඛයෙන් කළ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීයේ පාලනයේ ප්‍රධාන මුලධර්මය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බවද අවධාරණය කර ඇත.
නිදහස් සමාජයක නීතීයේ පාලනය පවත්වා ගැනීමට නම් අධිකරණයේ ස්වාධීනත්වය තිබිය යුතු අවශ්‍යම මුලික කාරණයක් බව තම පිළිගැනීම බවත් නඩු විභාගයන් වලදී අපක්‍ෂපාතීව කරුණු මත පදනම්ව තීන්දු දීම සඳහා විනිසුරුවරුන්ගේ කාර්ය බාරයට කිසිඳු පීඩනයකින් හෝ විශේෂයෙන් රජයේ මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමටට හැකියාව ඇති බවද අවධාරණය කරන නීතීඥ සංගමය පාර්ලිමෙන්තු වරප්‍රසාදවලට මුවා වී නඩු සහ විනිසුරුවරුන් පිළිබඳ කරුණු සඳහන් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට කරන තර්ජනයක් වශයෙන් සළකන බවද සඳහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් නීතී ක්‍ෂෙත්‍රයේ දැඩි අවධානය යොමු කරන බවද නීතඥවරයකුට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකුට පමණක් නොව ඕනෑම සේවාදායකු වෙනුවෙන් පෙනී සීටීමට ඇති අයිතිය වෘත්තීය අයිතිවාසිකමක් වන අතර ඊට එරෙහිව එල්ල වන ඕනෑම ආකාරයක තර්ජයක් පොදුවේ වෘත්තීයට එල්ල කරන ප්‍රහාරයක් වන බවද නීතීඥ සංගමය සඳහන් කර ඇත.
විනිසුරුවරයකුගේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවල බරපතල තත්වය අනුව එහි සත්‍ය අසත්‍යතාවය හෙළි කර ගැනීම සඳහා ස්වාධීන හා අපක්‍ෂපාති පුද්ගලයින්ගෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බවත් අදාළ චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ ඒකාග්‍රතාවයට හානියක් වන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය අදාළ චෝදනා පදනම් විරහිත වුවහොත් එය අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රමයේ අවංකභාවයට හානි කරන බවද පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළු කෝට් සංගමය කරන දේවල් ගැන අපෙත් කනස්සල්ල.
කනස්සලු වෙන්න දෙයක් නැහැ කිව්වේ ඇත්ත. අපිව ගොනාට අන්දන්න එපා ඔබලත් ඒ බව දන්නවා.
ඔතන තමා ප්‍රශ්නේ. තමන්ගේ එවුන් හැමවිටම නිවැරදියි කියල තමයි හැම එකාම කියන්නේ. මොකාට වුනත් වැරද්දක් කරනවානම් දඩුවම් කරන ක්‍රම වේදයක් තියෙන්න ඕන. දොස්තරලා. ඉංජිනේරුවෝ, නීති නිලදාරීන්. නැත්තම් ඔය කුල හදාගෙන ඉන්න එවුන් නිසා, මේ රට කවදාවත් හදන්න වෙන්නේ නැහැ. හැම එකාම කියන්නේ උන් ස්වාදීනයී කියල?
ඇත්තටම දැන් පලුදුවෙන්න දෙයක් තිබේද කියලා කියන්න අමාරුයි මේ කට්ටියම හදන්නෙ පාර්ලිමේන්තුවේ නීති පැනවීමේ අයිතියටත් අවහිර කරන්නද කියලා හිතෙනවා මෙනිසා ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණයට ඉහලින් ජනතාව සිටින නිසා මේ අංශ තුන ගැන ජනතා මතය විමසීමක් කලොත් සත්‍ය කුමක්ද පැහැදිලි වේවි
හැමෝම දන්නව වෙන දේවල් ඉතින්.
හැබැයි මෙහෙම දේකුත් තියෙනව . නීතිවේදීන් කියන්නෙ සල්ලි වලට අධිකරණය තුල අඩි හප්පල බොරු කරන මිනිස්සු. කවුරු හරි මිනිහෙක් කරපු වැරැද්දකට උසාවි දැම්මම සල්ලි දුන්නොත් ඒ මිනිහව බේරගන්න උත්සහ කරන මිනිස්සු.
ඇමැතිවරයාගේ චෝදනාව නීතියේ සරලම මූලධර්මයක් වන ස්වභාවික යුක්ති මූලධර්ම සම්බන්ධයෙනි. එවැනි ඥාති මිත්‍ර සබඳතා ඇත්නම් එවැනි නඩුවලින් ආරම්භයේදීම ඉවත්වීම සදාචාරයි. පවසා ඇති සමස්ථ ක්‍රියාදාමය තුල සාධාරණ සැකයක් ජනිත වේ. ස්වාධීන බව රැක ගැනීමටත් එලෙස රැක ගන්නා බව ජනතාවට ඒත්තු ගැන්වීමටත් සාධාරණ සැකයක් හෝ ඇති වන ආකාරයට වත් කටයුතු නොකිරීමට තරම් පරිස්සම් වීමට ස්වාධීන පුද්ගලයකු කටයුතු කල යුතුයි. මුදල පළමු සාධකය කර ගැනීමද ස්වාධීනත්වයේ ලක්ෂණ නොවේ. එසේම තෝරා ගත් මාතෘකා සම්බන්ධයෙන් පමණක් ප්‍රකාශ නිකුත් කිරීමද තෝරාගත් මාතෘකා සම්බන්ධයෙන් මුනිවත රැකීමද ස්වාධීනත්වය නොවේ. ස්වාධීනත්වය පරිසමාප්ත අර්ථයෙන් ආරක්ෂා කර ගැනීමට නම් කළයුත්තේ පෙන්වූ දෙය සත්‍යදැයි විමසා බැලීම මිස පෙන්වූ ඇඟිල්ලට දෝෂාරෝපණය කිරීම නොවේ. අයිතිවාසිකම්ද, ස්වාධීනත්වයද යනාදී ඕනෑම සංකල්පයක් ජනතා පරමාධිපත්‍යයට යටත්ය. ජනතා පරමාධිපත්‍යයේ කැටපත පාර්ලිමේන්තුවයි. එබැවින් ප්‍රකාශ නිකුත් කරමින් ජනතා පරමාධිපතයයට හානි කිරීමද නොකළ යුතුයි. නීතිය මූලාරම්භකයන්ම ප්‍රකාශ කළපරිදි සියලුම මිනිසුන් දේශපාලන සත්වයින්ය. ශුද්ධ වන්තයන් හෝ පරමාදර්ශීන් නොමැත්තේමය.
ඉතින් දාන්නකෝ නඩුවක්...
අපිනම් ලංකාවේ හැම පද්ධතියක් සම්බන්ධව ඉන්නේ බලවත් කණස්සල්ලකින් සහ විශාල කළකිරීමකින්...
නීතීඥ සංගමය කියන්නේ දූෂිත විනිසුරුවන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව දිගටම ඉන්න දෙන්න කියල ?
රටම දන්න සමහර කරුනු නීතිඥ සංගමයේ බබාලා නොදැන ඉන්න එක ගැන අපිට පුදුම වෙන්න අවස්ථාවක් ලබා දුන්න එක ගැන නීතිඥ බබාලගේ සංගමයට අපේ හද පිරි මෙව්වා එක පිරිනමන්න පලමුව කැමතියි. දෙවනුව ඔය කියන ස්වාධීනත්වය බබාලන්තයේ තියෙනවාද කියලා හොයලා බලන්න බබාලා නොවන වැඩිහිටියන්ගේ වෙනම කොමිසමක් දාන්න වෙනවා. ඒකේ වාතාව දැක්කම නීතිඥ බබාලට සමහර විට ඇදෙගන ඉන්න කලිසම් කොටයේ මුත්‍රා පහ වෙන්නත් ඉඩ තියෙනවා
කලුකෝට් සංගමේ සහ පෙරකදෝරුවන් ගැන ඇමැති කියන දේ අලුත් දෙයක් නොවේ, රටම දන්නා දෙයක්...!
පළුදු වෙන්න තරම් මහජන විශ්වාසයක් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට තියෙනවාද කියලා ඔය කලු කෝට් දාගෙන මේ රටේ අහිංසක මිනිස්සු රවට්ටලා / බය කරලා සල්ලි මංකොල්ල කන උගත් යැයි කියාගන්නා නීතිඥවරු එකතුවෙලා හොයලා බලපල්ලා. මේ රටේ නීතිය මේ තරම් කඩාවැටීම ට ඔය මහත්හොරුත් වගකිව යුතුයි. කෙස් පැළන ලස්සන තර්ක ඉදිරිපත් කරන්නේ හරියට ඊළඟට බුදු වෙන්න ඉන්න පසේ බුදුවරු වගේ. අහිංසක මිනිස්සුන්ගේ හැඳුනුම්පත් පිටපතක් සහතික කරන්නත් අඩුම වශයෙන් රුපියල් දාහක් ගන්න දැන් නඩු බෙදාගන්න බැරිව උසාවිවල ගහගන්න තත්ත්වයකට පත්වෙලා. බොරුවෙන්ම ජීවත්වෙන හොරු...
සල්ලිවලට නැවෙන්නේ නැති දෙයක් නැති බව ඔය හැම තැනකම පෙන්නුම් කළා. කණස්සල්ල නොව ඔය හැමෝම ලැජ්ජා වෙන්නයි ඕනේ...
විදේශ කලු කෝට්කරුවන් අවශ්‍ය කාලයයි...
මේ ඔක්කොම ප්‍රශ්නවලට මුල රටේ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවීම... නීතිය හරියට ක්‍රියාත්මක වන රටක මෙවැනි වංචා, දූෂණ සිදුවන්නේ නැහැ. මේකට පෙරකදෝරු සංගමය සෘජුවම වගකියන්න ඕනේ...!