(අංජුල මහික වීරරත්න)

රටට විශාල ආදායමක් ගෙන දෙන  ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග හඳුනාගනිමින් ඒවා විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඇඟලුම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳීම හා ක්ෂේත්‍රයේ නිරතවූවන්ගේ රැකියා සුරක්ෂිතතාවයට බලපා ඇති අහිතකර බලපෑම් හඳුනාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අතරින් ඇඟලුම් ක්ෂේත්‍රය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ක්ෂේත්‍රයේ  මතුව ඇති පසුබෑම මගහරවා ගනිමින් එහි උන්නතියට ගතයුතු කඩිනම් පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

තරඟකාරී වෙළෙඳපොළ ඉලක්ක ජය ගැනීමට සැලසුම්සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපති ලේකම්වරයා පැහැදිළි කළේය.

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විදේශ විනිමය සහ අමුද්‍රව්‍ය ආශ්‍රිත ගැටලු ක්ෂේත්‍රයේ කටයුතුවලට  බලපා ඇති ආකාරය මෙහිදී විශේෂ අවධානයට ලක් විය.

රට මුහුණදී ඇති  අභියෝගකාරී අවස්ථාවේ ඇඟලුම් ක්ෂේත්‍රය ආරක්ෂා කර ගනිමින් එහි උන්නතියට ගත හැකි සියලු පියවර ගැනීමට කැපවන බවට ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය අංශ ප්‍රධානීහු ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වූහ.

මේ සම්බන්ධයෙන් වන කඩිනම් විසඳුම් හා යෝජනා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට දැන්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් බව ද පැවසීය