( තරංගනී ෆොන්සේකා )

අසල්වැසි නිවැසියෙකු රවා බලා කෙළ ගැසීමේ සිද්ධියක්  මුල් කරගනිමින්  ඇති වූ ආරවුලක් දුරදිග ගොස්  එම අසල්වැසි නිවැසියාගේ තල්ලු කිරීම නිසා කාන්තාවක් මිය ගොස් ඇතැයි මොරටුව එගොඩඋයන පොලිසිය පවසයි.

 මෙසේ මියගොස් ඇත්තේ ධර්මබන්දු මාවත එගොඩඋයන මොරටුව ලිපිනයේ පදිංචිව සිට් (71)රංජනී ඉන්ද්‍රාවති නමැති කාන්තාවකි.

 මෙම කාන්තාවගේ නිවැසියන් සහ අසල්වැසි නිවසක් අතර ඇතිව තිබූ හිත් අමනාපකමක් අතරතුරදී අසල්වැසි නිවසේ පුද්ගලයෙකු කෙළ ගසා රවා බලා ඇති බවට  තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

 ඒ පිළිබඳව විමසීමට අදාළ මරණකාරිය අසල්වැසි නිවෙසට ගොස් ඇති අතර කෙළ ගැසීම ගැන සැකකරුගෙන් විමසීමේදී කෙළ ගැසුවේ අපි නොවෙයි ගසපු අයගෙන් අසා ගන්නට යැයි කියමින් සැකකාරිය තල්ලු කොට ඇති බව මුලික විමර්ෂණයේදී හෙළි වු බව පොලිසිය පවසයි.

මරණකාරියගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නැති බව සඳහන් කරන පොලිසිය ඇය පානදුර මූලික රෝහලට ගෙනයන අතරදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසීය.

 මේ වන විට මරණකාරියගේ මෘතදේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අවුරුදු හතළිස් දෙකක් වියැති දෙදරු පියෙක් බව පොලීසිය පවසයි.

 වඩු කාර්මිකයෙකු ලෙස සේවයේ නියුතු වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් කරන පොලිසිය ඔහුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසීය.

 මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතාගේ අධීක්ෂණයෙන්  මොරටුව එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාස කොරාල මහතාගේ උපදෙස් මත පරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රබෝධ යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.