(යොහාන් භාසුර)

වසා දැමූ ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (16) යළි විවෘත කළ බවත් වසරකට ආසන්න කාලයක් වසා දමා තිබෙන අකුරළ සහ ආඳාදොල උප දුම්රිය ස්ථානයන් ද ඉදිරි දින කීපය තුළ යළි විවෘත කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක්  අද (16) 'ලංකාදීප'යට පැවසීය.

ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය ස්ථානය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට දුම්රිය පාලන අධිකාරිය පියවර ගෙන තිබූ අතර එම උප දුම්රිය ස්ථානය සහන දුම්රිය ස්ථානාධිපතිවරයෙකු යොදා සුපුරුදු පරිදි සේවාවන් මගී ජනතාව වෙත සැපයීමට පියවර ගත් බව කී එම නිලධාරියා මාස කිහිපයක සිට වසා දමා තිබෙන අකුරළ සහ ආඳාදොල උප දුම්රිය ස්ථාන ද ඉදිරි දින කීපය තුළ සහන දුම්රිය ස්ථානාධිපතිවරු යොදවා සේවා සැපයීමට විවෘත කරන බව ද සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරු නොමැතිවීම හේතුවෙන් උප දුම්රිය ස්ථාන තුනක් මෙසේ වසා දමා ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පෙරේදා (15) ජනමාධ්‍යයට හෙළිකර තිබුණි.

දුම්රිය ස්ථාන 25 ක් සඳහා නවක උපදුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමට පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා ගැසට් කළ ද මේ දක්වා එම බඳවා ගැනීමේ කටයුතු අවසන් කරගැනීමට දුම්රිය පාලන අධිකාරියට නොහැකි වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම ඉහළ කළමනාකරණය හේතුවෙන් අධික පිරිවැයක් යොදවා දුම්රි ස්ථානාධිපතිවරු රාජකාරිවල යොදවා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට සිදුව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා ඊයේ වැඩිදුරටත් සඳහන් කළේය.