(ඩයනා උදයංගනී)

ප්‍රවීණ වේදිකා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ වරයෙක්, චිත්‍රපට සහය අධ්‍යක්‍ෂවරයෙක්, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්, ගීත රචකයෙක්, කවියෙක්, මෙන්ම ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායන ශිල්පියකු වූ ආනන්ද එස්. විජේසිරි මහතා අභාවප්‍රාප්ත විය.

ග්‍රන්ථ කතුවරයකු ද වූ විජේසිරි මහතා මියයන විට 80 හැවිරිදි වියෙහි පසුවිය.

‘නෙත් අඳ බිසව්’, ‘දෙව් ලොව යනකං’, ‘බැද්දේ ගෝරනාඩුව’, ‘අහසින් යන උන්’, ‘සෝමාදේවී’, ‘ජුලියස් සීසර්’, ‘ඔතෙලෝ’, නැට්ටුක්කාරයෝ යන වේදිකා නාට්‍ය රැසක් රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ආනන්ද එස් විජේසිරි මහතා, ‘සුදු පරවියෝ’, ‘මාල ගිරව්’, ‘චන්ඩින්ගෙත් චන්ඩියා’, ‘පුතුණි මට සමාවෙන්න’, ‘වන බඹරා’, ‘අංගුලි මාල’, ‘අම්මේ ඔබ නිසා’ යන චිත්‍රපට සඳහා ද තිරරචකයෙකු, දෙබස් රචකයෙකු ලෙස දායක වී තිබේ.

ආනන්ද එස්. විජේසිරි මහතා චිත්‍රපට හා වේදිකා නාට්‍ය රැසකට ගීත රචනයෙන් ද දායක වී ඇත.

ආනන්ද එස්. විජේසිරි මහතාගේ පියා වූ, එම්.ඩබ්ලිව්.එන්.එස්. විජයසිරි බෙලිඅත්ත මහතා ද එච්.එම්.වී ග්‍රැමෆෝන් ගීත තැටි සඳහා ගීත රැසක් රචනා කළ ප්‍රවීන ගීත රචකයෙකි.

ගල්කිස්ස, කලාපුර, පදිංඟිව සිටි විජේසිරි මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.