(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිසේත්ම 22 සංශෝධනය අවශ්‍ය නැතැයි සභානායක මහා මාර්ග , ප්‍රවාහන සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

" රාජපක්ෂ ,වික්‍රමසිංහ දුර්දාන්ත පාලන කාල වල මෙන්ම ඊට පෙර සිටත් අධිකරණයත් ඉතා පැහැදිලි විනාශයකට ලක්වුණා.අප කළේ කුමක්ද? සමාජයේ අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී හැම ක්ෂේත්‍රයක්ම ප්‍රතිසංස්කරණයට ලක් කරන අයුරින් නීතිය පසිඳලන ක්‍රියාවලියත් යුක්ති සහගත සාධාරණ විය යුතු බව අප පෙන්වා දී තිබෙනවා.අපි මේ රටේ හැම පැත්තක්ම ප්‍රතිසංස්කරණය කරනවා.අපගේ අරමුණ රටේ හැම ක්ෂේත්‍රයක්ම පරිවර්තනයකට ලක් කිරීමයි.ඒකට අධිකරණය වගේම නීති ක්ෂේත්‍රයත් අදාලයි.ආණ්ඩුව පවත්වාගෙන යන්න කිසිසේත්ම අපට මේ සංශෝධනය අවශ්‍ය නැහැ.ජනතාව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට මෙන්ම පළාත් පාලන ආයතන වලට බලය ලබා දී තිබෙනවා.ඒ වගේම 2029දී ඡන්දයට ගියාම ජනතාව කරන්නේ කුමක්දැයි බලමු.අපි ආර්ථිකය යහ පාලනය රටේ හැම පැත්තක්ම ගොඩ නගමින් සිටිනවා.අපේ බලය පවත්වාගෙන යාමට අධිකරණය හෝ නීතිය විනාශ කර ඒකාධිපතිවාදයකට ගෙන ඒමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ.මේ රටේ හැමදාම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරලා තිබෙන්නේ එක්කෝ ඉන්න පාලකයාගේ ධුර කාලය වැඩි කර ගන්න.එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ කාලයේ දිගු කරගන්න.නමුත් මෙම සංශෝධනයේ එවැනි අරමුණක් නැතැයිද අමාත්‍යවරයා කීය.