(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ පවතින වැරදි සම්බන්ධයෙන් එක්පුද්ගලයෙක් ඉලක්ක කර දොස් කිව නොහැකි බවත්, පිරිහීම ඇත්තේ සමස්ත ක්‍රියාවලියේම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ජනතාව දොස් කියන්නේ හා විරෝධය පාන්නේ එක් අයකුට නොව ආණ්ඩුවටම බව කී ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත්, රටේ පවතින තත්වයට වගකිව යුතු තවත් මැති ඇමතිවරුන් හා නිලධාරීන්ද සිටින බවත් කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 සමඟ මෙන්ම ඊට අයත් නොවන පක්‍ෂ සමඟත් එක්ව කටයුතු කරන බව කී ඇමතිවරයා ආණ්ඩුවේ තවත් මැති ඇමතිවරු කණ්ඩායමකුත් ද තම පක්‍ෂය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

තම පක්‍ෂය ඉවත් කළ දෙදෙනා තනිකර පැත්තකට දමා නැතැයි කී අමරවීර මහතා ශ්‍රී.ල.නිපය වැඩසටහන්වලට සම්බන්ධ වන්නේ හා තීන්දු ගන්නේ පක්‍ෂය ලෙස සාකච්ඡා කර වෙනම ක්‍රමවේදයකට බව ද පැවසීය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (17) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මේ වන විට මහබැංකු අධිපති රජිත් නිවාඩ් කබ්රාල් මහතාට මෙන්ම ජනාධිපති, අගමැති ඇතුළු පවුලේ අයටත් විරෝධයක් ඇතැයි කී ඇමතිවරයා බැසිල් ආණ්ඩුවේ නැත්නම් නැවත ඇමතිකම් ගන්නවා කීවහොත් එය නිවැරදිද යන්න ගැටලුවක් බව ද ප්‍රකාශ කළේය.

රටේ පවතින තත්වය තුළ කෝපයට පත් ජනතාව සමඟි ජන බලවේගය මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ කරන විරෝධතා, ශ්‍රී.ල.නි.ප සමුළු ඇතුළු ආණ්ඩු විරෝධී සෑම කටයුත්තකටම රැස්වෙමින් සිටින බව කී අමරවීර මහතා එල්.ටී.ටී.ඊය පැමිණ විරෝධතාවක් පැවැත්වූවත් ඔවුන් එයට ද පැමිණෙනු ඇති බවත්, විදුලි කප්පාදුව නිසා තමා ද විවිධ ගැටලුවලට මුහුණ පා තිබෙන බවත් කීවේය.

රටේ පවතින ප්‍රශ්න විසඳනතුරු ඕනෑම විරෝධතාවයක් සාර්ථක වන බව කී ඇමතිවරයා මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති අය බව ද පැවසීය