(ප්‍රසාද් මුතුකුඩ)
වර්තමාන ලෝකයේ මිනිස්සු මනුෂ්‍ය ජීවිතය අගය නොකරන බවත්, ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකු බවත්, ආගමක් හේතුවෙන් මිනීමැරීමට නොහැකිබවත්, කිසිවකු එසේ කරන්නේ නම් එය මහා පාපයක් බවද, දෙවියන්ගේ මැවිල්ලට පරිභවයක් බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද (11) කොටුගොඩදී පැවසූහ.
අගරදගුරු හිමිපාණන් මේ බව පැවසුවේ ශුද්ධ වූ කයිතානු මුනිතුමන් වෙනුවෙන් කැපකර ඇති කොටුගොඩ දේවස්ථානයේ අද(11) උදෑසන පැවති 125 වෙනි ජුබිලි සැමරුම් දේව මෙහෙයට සහභාගී වූ අවස්ථාවේදීය.
‘කෑදරකමයි, පෙරේතකමයි මනුස්ස ජීවිතයට ළංවුණාම ජීවිතය හිර කූඩුවකට වැටෙනවා. දෙවියන් වහන්සේ මේ ජීවිතය දීලා තියෙන්නේ යම් අරමුණක් ඉටුකරගන්නයි. එය අප කරගත යුතුයි. ජීවිත එකිනෙකට වෙනස් හැමෝටම දෙවියන් විවිධ තලෙන්තු දීලා තියෙනවා. එය තුළ ඉලක්කයන් තියෙනවා. අරමුණක් තුළ ජීවිතය අප ගෙන යායුතුයි. දෙවියන්ටත්, අසල්වැසියාටත් ප්‍රයෝජනවත් ආගමික ජීවිතයක් අප පවත්වා ගෙන යායුතුයි. හැබැයි අද වනවිට අවාසනාවකට ආගමත් දේශපාලනයට කලවම් කරගෙන භාවිත කරන්න හදනවා. ආගමයි දේශපාලනයයි එක හා සමාන වෙන්නේ නැහැ. දේශපාලනය තුළ යම් ආකාරයකට ආත්මාර්ථකාමීත්වය තිබෙනවා. බලය කියන්නේ සේවයටයි. දේශපාලන ලෝකයේ නායකයින් මතක තබා ගත යුතුයි සේවය සඳහායි කැඳවීම ලබා තියෙන්නේ. අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න වගකීමක් එහි තියෙනවා. දැහැමි ලෙස සියල්ලක් සිදුකරන්නේ නම් පරිශුද්ධ භාවයේ මාර්ගයට එය ප්‍රවේශ වනවා. දෙවියන් විසින් මැවු මිනිසා පරිසරයට ආදරය කල යුතුයි. කිතුනු අප සැම අනුන්ටත් කරදරයක් නොකර තමන්ටත් දෙවියන්ටත් සතුටු වන ලෙස ජීවිතය මෙහෙයෙව්වොත් ශුද්ධ වූ කයිතානු මුනිදුන් ලෙස සාත්තුවරයකු විය හැකියි.
විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි ලංකාවට කෑදරකම බෝ වෙලා තියෙන්නේ. ආර්ථික ප්‍රතිපත්ති, මාක්ස්වාදය ආගමත් එක්ක සම්බන්ධ කරන්න බැහැ. ඒවා මිනිසාව හිරකර බැඳ තබන න්‍යාය ධර්මයන්. මේ හැම න්‍යාය ධර්මයක්ම මිනිසුන්ව වහලුන් බවට පත් කරනවා. දේශපාලන පක්ෂත් න්‍යාය ධර්මයන් තුළ මනුෂයාව හිර කර තබනවා. ඒනිසයි ඡන්දයක් ඉවර වුණාම මිනීමරාගන්නේ. අද ලංකාවට අවශ්‍ය වන්නේ දහම් විප්ලවයක්. ඒ නිසයි සබත් පාසැල් ළමයි සදහා ඉරු දින උපකාරක පංති තහනම් කරන්න කියලා පාර්ලිමේන්තුවට දේශපාලන යෝජනාවක් ගෙනආවේ. ඒත් සමහර ටියුෂන් ගුරුවරු ඒකට විරුද්ධව නඩු දැම්මා ඒ නඩුවලට අපත් සම්බන්ධ වුණා දරුවන් වෙනුවෙන්’යැයිද අගරදගුරු හිමිපාණෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිනාම වාදයෙන් ඉවතට ගොස් , පෘථිවිය හතරැස් කියූ අවදියක මිනිසාව බලයෙන් භය කොට, මිනිසුන් වහලුන් කොට පාලනය කිරීම සඳහා මිනිසා විසින් දෙවියකු කියන සංකල්පය ආගම් වලට ආදේශ කොට කල විපත්තිය කියා නොම කල හැකිය. යුරෝපා ජාතිකයන්, අරාබි ජාතිකයන්, ආසියාතික ජාතීන් පසුහිය අවුරුදු 500 ඇතුලත මිනිසාට, මිනිසා ඉදිකළ නිර්මාණ වලට කරලා තියන අපරාද අදටත් එසේම සිදුවෙමින් පවතී. ඉන්දියානු කත්රුවරියක වන අරුන්දතී රෝයි මහත්මිය කියා තිබෙන්නේ ඉදිරි අවුරුදු 50 ඇතුලත මිනිසා සටන් වදින්නේ පැට්‍රොල් සහ රත්රන් වලට නොව වතුරටය කියල, ඉන්දියාවේ අද මිනිසුන් වතුරට සන්ඩු සරුවල් වෙනවා. ලංකාවෙත් එම තත්වය ඇති වෙයි. දේව ඇදහිල්ල, ආගම් ඇදහිල්ල සිතේ පමණක් තියාගෙන, සිරිලකේ පස අතගාන, වතුරෙන් සරු බිමක් කිරීමට උපදෙස් දෙන්නේ නම් එය කාගේත් වගකීමකි. සිදී යන ජලය රැක ගැනීම හැමෝගෙම වගකීමකි .
වර්ෂ 2562 බුදුන් වහන්සේ ලොව පහළවන විට ඇදහීම් 62ක් ඉන්දියාවේ පවතී බව සදහන්වේ. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ උන්වහන්සේ කියන දෙය වුවත් විමසා ප්‍රශ්නකර බලා යථාර්තය වටහාගන්නවා විනා අන්ධ භක්තියෙන් කිසිවක් පිළිනොගත යුතු බවයි. උන්වහන්සේ දේශනා කර ඇති සියල්ල සම්පිණ්ඩනය කල විට බඹයක් පමණ වූ මිනිස් සිරුරේ ඇති ඇසට රුප, කණට ශබ්ධ, නාසයට ගන්ධ, දිවට රස, කයට පහස, මනසට ධර්මතා, දැනෙත්දී ඒ සියල්ල විශ්ලේෂණය කර නිවැරදි දැකීම, නිවැරදි කල්පනාව, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාව, නිවැරදි ජීවනය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි අරමුණ, යනාදිය තමා විසින්ම තමා තුලින් මතුකර ගතයුතු බවයි.එවැන්නෙකු පමණක් යථාර්තය වටහා ගන්නා ප්‍රඥාවන්තයෙකු බවත් ප්‍රඥාවන්තයෙකු වීමට වෙනත් ක්‍රමයක් නැති බවත්ය.