
(රෝෂන් තුෂාර)
ව්‍යාජ සමාගම් පිහිටුවා කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත පිටරට පැටවූ ජාවාරම්කරුවන් සමග එක්ව රේගුවට හොර රහසේ අඩු වටිනාකම් යොදා භාණ්ඩ ආනයනය කර රටට බදු ආදායම් අහිමි කළ ප්‍රසිද්ධ සමාගම් 21 හඳුනාගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පැවසීය.
ව්‍යාජ සමාගම්වලට සහ ඒ වා ක්‍රියාත්මක කළ ජාවාරම්කරුවන්ට එරෙහිව රජය අකුරට නීතිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ තුළ අසාධාරණ ලෙස බදු අහිමි කර භාණ්ඩ ආනයනය කළ සමාගම් මේ වන විට රේගුවට දඩ මුදල් ගෙවමින් සිටින බවත් මෙසේ දඩ මුදල් ගෙවීම රටේ ජාතික ආර්ථිකයට සැනසිලිදායක තත්ත්වයක් උද්ගත කර ඇති හෙයින් රජය හා නීතිපතිවරයාගේ ගෞරවය අධිකරණයට පුද කරන බවත් පැවසීය.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා වැඩි දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණයේ කාර්යභාරය උපකාරයක් වූ හෙයින් අදාළ ගෞරවය පුද කරන බවය.
ව්‍යාජ සමාගම් පහක් පිහිටුවා ගනිමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියන 24.85ක් විද්‍යුත් විගණන පැවරුම් (ටී ටී ඔස්සේ )හරහා රටින් පිට කළේ යැයි රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් කොළඹ 12 පදිංචි නෙයිනා මොහොමදු මොහොමඩ් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රජයේ නීතිඥවරයා එසේ පැවසීය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වර්ල්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම හමුවේ රේගුවට බදු ගෙවීමට ඉදිරිපත් වූ ප්‍රසිද්ධ සමාගම් මොනවාද යන්න පිළිබඳව ලබන නඩු වාරයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රජයේ නීතිඥවරයා මෙසේද පැවසීය.
මෙරටින් ඩොලර් සංචිත පිට කිරීමේ මහා ජාවාරම සම්බන්ධව සිදු කරන විමර්ශනයේ 7 වන සැකකරු ලෙස මොහු නම් කරනවා.ව්‍යාජ සමාගම් 89 ක් මෙහෙයමින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් රටින් පිටකලේ යැයි රක්ෂිත බන්ධනාගාරගත මොහොමඩ් ජෙෆ්රි හා මොහොම මුසාම්මිල් මොහොමඩ් ඉන් පාස් සැකකරුවන් හා සමානවම මෙම සැකකරු ව්‍යාජ සමාගම් පහක් පිහිටුවා තිබෙනවා. ලකී බ්‍රැන්ඩ් කියන සමාගමේ අධ්‍යක්ෂකවරයා ලෙස මෙම සැකකරු කටයුතු කර තිබෙනවා. සැකකාර බැංකු නිලධාරීන් සමග එක්ව මෙම ජාවාරම දියත් කර තිබෙනවා. මෙතෙක් විමර්ශනය කළ ව්‍යාජ සමාගම් 89 න් 72 ක ක්‍රියාකාරීත්වය මෙම සැකකරුවන් තිදෙනා විසින් දරා තිබෙනවා. අපට තව විමර්ශනය කළ යුතුව තිබෙන්නේ සමාගම් පහක් සම්බන්ධයෙන් පමණයි . එම නිසා සැකකරුට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමට තරයේ විරුද්ධ වන බවත් , සැකකරු තමන් සන්තකයේ තිබූ දේපළ සහ වාහන , තුන්වෙනි පාර්ශවයකට බැහැර කර ඇති බැවින් ඇප ලබා දුනහොත් විමර්ශනවලට බාධා වන බවත් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 1 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd