(රෝෂන් තුෂාර සහ මනෝප්‍රිය ගුණසේකර)

හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබා ගත් රුපියල් කෝටි හතක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 'අවුරා ලංකා’ සමාගමේ සභාපති විරංජිත් තාබුගල නැමැත්තා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ(22) නියම කළාය.

මාස 06ක පමණ කාලයකට පෙර ගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප නියම කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තරයේ විරද්ධවීම හේතූවෙන් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළාය.

අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් සමාගම විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ (22) පෙරවරුවේ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු මෙම සිද්ධියට අදාළ සිද්ධිය 2023 නොවැම්බර් 03 වැනිදා සිදුවී ඇතැයි දැනුම් දුන්හ.

(ඡායාරූප -ළහිරු හර්ෂණ)

------------------------------------------

අවුරා ලංකා සභාපති අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවැසේ.