(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙවර අයවැයෙන් මහා මාර්ග වලට මිලියන පන්දාහක් වෙන්කර ඇත්තේ මවාපෑමකට දැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ  මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ප්‍රශ්න කළේ  අයවැය යෝජනාවලියේ  මුදල්  වෙන් කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.

ගාමිණී වලේබොඩ මහතා:

ඔබතුමා නිශ්චිතවම පැහැදිලි කළා  මේ අය වැය ලේඛනය මගින් ප්‍රාග්ධන වියදම් දරන්නේ නැහැ කියලා.  නමුත් අයවැය යෝජනාවලියේ  මාර්ග හදන්න විතරක් රුපියල් මිලියන පන්දාහක මුදලක් වෙන් කරල  තියෙනවා. එතකොට ඔබතුමා ඒ ප්‍රකාශ කරන්නේ මොකක්ද. ඒ මුදල  මවා පෑමක් ලෙස ඉදිරිපත් කළ එකක්ද.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා:

මාර්ග ඉදිකිරීම් වලට බිලියන එකසිය දහයක් ගෙවන්න තියෙනවා. ඒ අර්ථය තේරුම් ගන්න ඕන. ගෙවන්න තියන සල්ලි ගෙවල නැහැ තවම. ඉදිරි වෙන් කිරීම්වලට අවස්ථාව තිබිය යුතු නිසා එතන සංකේතවත්  වෝට් එකක් තියෙන්න ඕන.