(සුජිත් හේවාජුලිගේ)

මුදල් ඇමැතිවරයා  අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවේ කතානායක ගැලරිය සහ  මාධ්‍ය ගැලරිය පමණක් විවෘත කිරිමට  තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාව සඳහා විදේශීය තානාපතිවරුන් සහ විදේශීය නියෝජිතයන් පනස් දෙනකු පමණ සහභාගීවීමට  නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම විදේශීය නියෝජිතයන්ට අසුන් පැනවෙන්නේ කතානායක ගැලරියේය.

කොවිඩ් වසංගත තත්වය නිසා  පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට අසුන් පැනවීමට සිදුවන හෙයින්  තානාපතිවරුන්ට  සහ  විදේශීය නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ කතානායක ගැලරියේ  ඉඩකඩ මදි වුවහොත් අමතර අසුන් පැනවීමට බලාපොරොත්තු වන බවද   වේත්‍රධාරීවරයා කීවේය.

දුරස්ථභාවය ආරක්ෂා වන ආකාරයට  අසුන් පැනවීමේදී  කතානායක ගැලරියේ තානාපතිවරුන් වෙනුවෙන් පැනවිය හැක්කේ උපරිම වශයෙන් අසුන් 45 ක් පමණි.

මේ අතර කොවිඩ්  වසංගත තත්වය සැලකිල්ලට ගෙන  පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය තවදුරටත් වසා දැමීමට   පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ හෝ මහජන ගැලරිය විවෘත කිරීමට ඇති හැකියාව ලබන ජනවාරි මාසයේදී සමාලෝචනය කරන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.