(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරොද රථ රියැදුරුගේ මුහුණට මිරිස්කුඩු ගසා , හිසට මිටියකින් පහර දී ත්‍රීරෝද රථය කොල්ලකා කෑ අඹු සැමි යුවළක් ,අවුරුදු තුනක දරුවකු ද සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි .

කොල්ල කෑ බව පැවසෙන ත්‍රීරෝද රථය, අගල් 32 වර්ණ රූපවාහිනියක් , ලැප්ටොප් යන්ත්‍රයක් , වතුර මෝටරයක් ද භාරයට ගත් බව පොලිසිය කියයි .

හෝමාගම පිටිපන පාසල් හන්දිය ආසන්නයේදී ත්‍රිරෝද රථයකට නැග ඇතැයි කියන සැකකාර කාන්තාව ත්‍රිරෝද රථයෙන් හෝමාගම පිටිපන පොත් ගබඩා සංකීර්ණය ආසන්නට ගොස් එහි අතුරු මාර්ගයක ත්‍රීරෝද රථය නවත්වාගෙන  මාර්ගයේ ගමන් ගත් කාන්තාවකගේ ජංගම දුරකථනයකින් කිසියම් අයකුට ඇමතුමක් දී ඇතැයි පැවසේ .

පසුව ඇයගේ සැමියා බව පැවසෙන පුද්ගලයකු පැමිණ ඇති අතර ඔහු පැමිණෙනවාත් සමගම ත්‍රිරෝද රථයේ පිටුපස රැදී සිටි කාන්තාව රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පැවසේ .

එම ස්ථානයට පැමිණි පුද්ගලයාද ඔහු අත තිබූ මිටියකින් රියදුරුගේ හිසට පහර දී ත්‍රීරෝද රථයෙන් බිමට ඇද දමා මීටර් විස්සක් පමණ දුරින් පිහිටි කැලෑබද පෙදෙසකට ඇදගෙන ගොස් අතහැර දමා මෙසේ ත්‍රිරෝද රථය කොල්ලකා පලාගොස් තිබූණි .

කොල්ල කෑ ත්‍රිරෝද රථය මීගොඩ ප්‍රදේශය හරහා ධාවනය වෙද්දී එය නවතන ලෙස පොලිසිය අණ කළාත් නොනවත්වා ධාවනය කරද්දි එය පසු පස හඹාගිය පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේ ත්‍රිරෝද රථය අතමග දමා පළා යාමට උත්සහ කරද්දී සැකකාර අඹුසැමි යුවළ සහ දරුවා පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීමේදී , ඔවුන් දෙදෙනා එක්ව මහ මග ගමන් ගන්නා ත්‍රී රෝද රථ කොල්ලකා එහි කොටස් ගලවා අලෙවි කිරීමට පුරුදුව සිට ඇති බවත් එලෙස කොල්ල කන ලද ත්‍රීරෝද රථයක් මීට මාසයකට පමණ පෙර හෝමාගම පොලිසිය මගින් සොයාගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ .