(නිමන්ති රණසිංහ)

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අභිජනන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වා තිබූ එළුවන් 100 දෙනකු අතුරින් විසි එක් දෙනකු 2021 වර්ෂයේදී මියයෑම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම එළුවන් ගෙන්වා තිබුණේ 2019 වර්ෂයේදීය. විනිමය අනුපාතයේ වෙනස්වීම මත රුපියල් 23 ලක්ෂයකට වැඩි මුදලක් එම එළුවන් ආනයනය වෙනුවෙන් අමතරව ගෙවීමට සිදුවී ඇති බවද වාර්තාව පෙන්වා දෙයි.

මෙසේ හදිසියේම මියගොස් ඇතැයි පැවසෙන්නේ පිරිමි සතුන් පස්දෙනකු සහ ගැහැණු සතුන් දහසය දෙනකු බව ද වාර්තා වෙයි

අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට පෙර එළුවන් මිය යෑම හේතුවෙන් මේ සතුන් සඳහා එතෙක් දරන ලද ආනයනය හා නඩත්තු වියදම් පලදායී නොවන බව  විගණන කාර්යාලය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් කළ විමසුමකදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් වරද පිළිගෙන ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ජාතික විගණන කාර්යාලය ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.