(ඩයනා උදයංගනී)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා සිවිල් සංවිධාන එක්ව කොළඹ නගරයේ දී අද (18) දැවැන්ත විරෝධතා පා ගමන් දෙකක් පැවැත්වූ අතර, වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි පිරිස ඉන් අනතුරුව විසිර ගියහ.

එම එක් පා ගමනක් තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසලින් ආරම්භ වූ අතර, අනෙක් පා ගමන ආරම්භ වූයේ නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අසලිනි.

මෙම පා ගමන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කොළඹ මල් පාර අසලදී හා නෙළුම් පොකුණ රඟහල අසලදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරද එල්ල කරනු ලැබුවත් විරෝධතාකරුවෝ ඒවා නොතකා වැලිකඩ බන්ධනාගාරය දක්වාම ගමන් කළහ.

අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ නාම පුවරුව සහිත කෙටි තාප්පය මතට ගොඩ වූ අන්තර් විශ්ව විද්‍යාලයීය වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රොඩ්රිගෝ මහතා රැස්ව සිටි පිරිස ඇමතීය.

“කඳුළු ගෑස්, ජල ප්‍රහාරවලින් අපිව නවත්වන්න බැරි බව අද අපි ඔප්පු කළා. වසන්ත සහෝදරයා සහ සිරිධම්ම හිමියන් දින 90ක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගැනීමෙන් පසු දැන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර හෝ තවත් කාලයක් තබාගැනීමට උත්සාහ කරනවා. ඔවුන් නිදහස් කරන තුරු අපේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.” යැයි ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විශාල පොලිස් ආරක්‍ෂාවක් යොදවා තිබුණත්, පා ගමන අවසන් කෙරුණු බොරැල්ල වැලිකඩ බන්ධනාගාරය ආසන්නයට පොලීස් කණ්ඩායම් ළඟා වූයේ ශිෂ්‍ය නායකයින්ගේ කතා අවසන්වීමෙන් පසුවය.

මෙම පා ගමන් හේතුවෙන් කොළඹ නගරයේ බේස්ලයින් පාර, ගාලු පාර, බෞද්ධාලෝක මාවත ඇතුළු මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් ද පැවතිණි.