(ඩයනා උදයංගනී සහ මාධවී ධර්මරත්න)

මේ දිනවල පවතින අධික ශීතල සහ වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළයාම සමඟ වයිරස් උණ, ළමා හතිය හා ස්වසන පද්ධතිය ආදී රෝගී තත්වයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

වයස අවුරුදු 2ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන් සම්බන්ධයෙන් මෙන්ම ගර්භනී මව්වරුන්, දියවැඩියා රෝගීන්, දීර්ඝකාලීනව ස්වසන රෝගවලින් පීඩා විඳින්නන් ආදීන් තම සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මෙම කාලයේ දී සැලකිලිමත් විය යුතු බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

හතියට ගන්නා ඖෂධ මේ දිනවලදී එයාකාරයෙන්ම නොකඩවා ලබා ගත යුතු අතර, ඉන්හේලර් භාවිත කරන රෝගීන් සිටී නම් ඔවුන්ද එය නොකඩවා වෛද්‍ය උපදෙස් මත ලබාගත යුතු බව ඔහු කීවේය.

සීතල සහ දූවිලි අංශු වැඩි ප්‍රදේශවල දරුවන් නිවසින් බැහැරට ගෙනයාමේදී සිරුරේ උණුසුම රැකෙන පරිදි ඇඳුම් ඇන්දවීම සහ වැඩිහිටියන් මුහුණු ආවරණ පැළඳීම වැදගත් බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

වයිරස් රෝග කුඩා දරුවන් අතර ඉක්මනින් පැතිර යා හැකි නිසා කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්ව පවතින දරුවන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයැවිය යුතු අතර, ඔවුන් විවේක ගැන්වීම කළ යුතු අතර, ශීතල කාලගුණයක් ඇති අවස්ථාවල රෝගීන්ගේ කාමරයේ දොර ජනෙල් වසා තැබීම සුදුසු බව ද වෛද්‍යවරයා කීවේය.

නුවරඑළිය වැනි ප්‍රදේශවල දරුවන්ට මෙම තත්වය හුරු වුවත් සීතල නුහුරු පැතිවල වෙසෙන අය ඉතාම ඉක්මනින් රෝගීවිය හැකි බව ද හෙතෙම පැවසීය.