(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින අඩුපීඩන කලාපය උතුරු වෙරළට ආසන්නව තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන්කිරීමේ හැකියාවක් පවතින බැවින් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ  ප්‍රකාශකයෙක් පැවසීය.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර 50 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.