(අංජුල මහික වීරරත්න)

මැතිවරණයකදී අපේක්ෂකයකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳව තරුණ කණ්ඩායමක් සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා කමිටු ගණනාවක් පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අයවැය විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව වැනි බොහෝ කමිටු ඇති බවත් එම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත ගෙන එන බවත් පැවසීය.