(යොහාන් භාසුර)

කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් බැංකුවල වෙබ් අඩවිවලට සමාන වෙබ් අඩවි නිර්මාණය කරමින් එල්ල කරන සයිබර් තර්ජන ඉහළ යෑම නිසා එම සයිබර් තර්ජනවලින් මිදීම සදහා බැංකුවල නිල ජංගම බැංකු යෙදවුම් වෙත පමණක් යොමුවන ලෙස බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ඉලක්ක කරගනිමින් පසුගිය වසර පුරාම කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් සයිබර් ප්‍රහාර එල්ලවී ඇති අතර ජාත්‍යන්තර වංචනික කණ්ඩායම් පාරිභෝගිකයින්ගේ ගිණුම් තොරතුරු සොරාගැනීමට දරන උත්සාහයන් වැලැක්වීමට දේශීය බැංකු පද්ධති දැඩි ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක කරමින් සිටින බව ද ඔවුහු සඳහන් කරති.

අන්තර්ජාල බැංකු පිවිසුම පූර්ව ලියාපදිංචි කළ විශ්වාසදායක බ්‍රවුසර් හරහා පමණක් සීමා කර ඇති අතර ඒ නිසා පද්ධතියන්ට පිවිසීමේ අපහසුතාවයන් ඇතිව තිබෙන බව කී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එම අමතර බාධාවන් යනු ස්වයංක්‍රීය සයිබර් ප්‍රහාරයන් ක්ෂණිකව අත්හිටුවන අත්‍යවශ්‍ය ආරක්ෂක පියවරක් බව ද පැවසූහ.

ඒ නිසා බැංකුවලින් හදුන්වාදී ඇති නිල ජංගම බැංකු යෙදවුම් වෙත මාරු විය යුතු බවත් ඇගිලි සළකුණු සහ සත්‍යාපනය මගින් සංකීර්ණ බ්‍රවුසර් පහසුකම් නොමැතිව විදේශ රටවල සිටිනවිටදී පවා බාධාවකින් තොරව ඉහළ ආරක්ෂාවක් සහිතව බැංකු කටයුතුවල යෙදීමේ හැකියාව එමගින් හිමිවන බවත් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයෙක් වන ප්‍රහර්ෂණ දිසානායක මහතා සදහන් කළේය.

බැංකු විසින් හඳුන්වා දෙන සෑම අලුත් ආරක්ෂක පියවරක්ම පරිශීලකයන් අපහසුතාවට පත්කිරීමට නොව ගනුදෙනුකරුවන් මහන්සිවී උපයාගන්නා මුදල් සහ මූල්‍ය අනාගතය ජාත්‍යන්තර සයිබර් හොරුන්ගෙන් සුරක්ෂිත කරදීම වෙනුවෙන්ම කරන අත්‍යවශ්‍ය පියවරක් බව ද ජාතික තොරතුරු නියෝජිත ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රහර්ෂණ දිසානායක මහතා වැඩිදුරටත් කීය.