(අජන්ත කුමාර අගලකඩ)
 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
 
ජනාධිපතිවරයා අද(16) පුවත්පත් කර්තෘවරුන් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී එසේ පවසා තිබේ.
 
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළු රටම අවුල් කළ බව කී ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙනයාමට නම් එය අහෝසි කළ යුතු බව කීවේය.
 
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවක් පවත්වමින්, සුදු වෑන් සිද්ධියක් පිළිබඳව අනාවරණය කළ සැකකරුවන් දෙදෙනා පිළිබඳව  මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා මෙතෙක් ආ දේශපාලන සංස්කෘතිය අනුව බොරු කියා ඡන්දය ගැනීම සම්ප්‍රදායක් වී ඇති බව කීවේය.
 
තමා එවැනි දේ නොකරන බවත් , තමාගේ උත්සාහය ඒ තත්වය වෙනස් කර, නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම බවත් ජනාධිපතිවරයා කීවේය.
 
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නේදැයි මාධ්‍ය ප්‍රධානියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා විශේෂඥ කමිටුවක් පත්කර එය රටට හිතකරද අහිතකරද යන්න බලා ඉදිරි කටයුතු තීරණය කරන බව සඳහන් කළේය.