අද වනවිට ලොව පුරා රටවල් බොහොමයකම ව්‍යාප්ත වී යමින් පවතින තවත් එක් වයිරසයක් වන ‘ වඳුරු පැපොල‘ (Monkey Pox) වයිරසය ගැනයි අද මේ අනාවරණය. 

වයිරසයේ  නිදාන කතාව

මෙම වයිරස් රෝගය මුලින්ම හඳුනා ගැණුනේ අප්‍රිකාවේ කැලෑවල විසූ වඳුරන්ගෙනි. එම වයිරසය අසාදිත වඳුරන් මගින් මුලින්ම අප්‍රිකානු රටවල වෙසෙන පුද්ගලයන් හට වයිරසය ආසාදනය වී තිබේ. ඒ 1980 වසරේදීය. මුල් කාලයේදී අප්‍රිකානු රටවල පමණක් පැතිරුණු වඳුරු පැපොල රෝගය පසුකාලයේදී යුරෝපා රටවල්ද ආක්‍රමණය කෙරිණි.

රෝගයේ ස්වාභාවය

මෙය පැපොල රෝගය සහ වසූරිය යන රෝග දෙක අතරමැදි රෝග තත්ත්වයකි.එනම් පැපොල සහ වසූරිය රෝග නොවන අතරමැදි රෝගයකි. වර්ෂ 1978දී පමණ වසූරිය මෙරටින් තුරන් කෙරිණි. වසූරිය පැවැති වකවානුවලදී ඊට අදාල ප්‍රතිශක්තිකරණය ලබා දුන්නද මේ වනවිට එම ප්‍රතිශක්තිකරණය ලබා දීමක් සිදු නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වඳුරු පැපොල රෝගය සඳහා ප්‍රතිවයිරසය ලෙස වසූරිය රෝගයට ලබා දුන් ප්‍රතිශක්තිකරණයම ලබා දිය හැකි බවට තහවුරු කර ඇත.

ලෝක තත්ත්වය

පසුගියදා වනවිට වඳුරු පැපොල රෝගය රටවල් 14කින් වාර්තා විණි. තහවුරු කළ ආසාදිතයන් 92කු වන අතර සැක කටයුතු ආසාදිතයන් 28 දෙනකු පමණ ඉකුත් සතිය වනවිට හඳුනා ගැණිනි.

ඒ අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායෙලය, ස්පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බෙල්ජියම, ස්වීඩනය, පෘතුගාලය, ජර්මනිය , ප්‍රංශය, ඉතාලිය යන රටවල වඳුරු පැපොල ආසාදිතයන් වාර්තා වී ඇත. ඊට අමතරව බෙල්ජියම වැනි ඇතැම් රටවල් මේ වනවිටත් වඳුරු පැපොල වසංගතයෙන් ආරක්ෂා වීමත්, පැතිරීම අවම කරලීම උදෙසාත් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ජනතාවට හඳුන්වා දී තිබේ. කිසිඳු රටකින් මේ වනවිටත් පුද්ගල මරණ වාර්තා වී නැත.

රෝග ලක්ෂණ

උණ ගතියට අමතරව සුදු පැහැති වතුර පිරුණු තරමක් විශාල බුබුළු දදයක් ආකාරයෙන් සිරුරේ පැතිරීම ,හිසරදය, ඇඟපත වේදනාව, මහන්සි ගතියක් දැනීම රෝග ලක්ෂණ වේ.

වඳුරු පැපොල වයිරසය වැළඳී සතියක් දෙකක් පමණ කල් අල්ලා පැවැතිය හැකි අතර රෝගයේ බීජාවසන සමය දින 2ත් සතියක් ඉකුත් වන තෙක් පවතී.

රෝගය බෝ වීමේ ක්‍රම

අසාදිතයකු මුහුණට මුහුණ ගැටීම- ආසාදිතයකු ස්පර්ශ වීම ඒ තරල මගින් බෝවීමට හැකියාවක් පවතී. එසේම ආසාදිතයකු හා සෘජු ශාරීරික සම්බන්ධතා -සමලිංගික ක්‍රියාකාරකම් වැනිදෑ තුළින් මෙන්ම ආසාදිතයකු භාවිත කළ ඇඳ ඇතිරිලි, පිඟන් කෝප්ප පරිහරණය මගින්ද රෝගය තවත් පුද්ගලයකුට වැළඳිය හැකියි.

සැලකිලිමත් වන්න

වඳුරු පැපොල ආසාදිතයන් අපේ රටෙන් වාර්තා නොවුණද රෝගය පැතිරීමේ අවදානමක් පවතී. මෙම රෝගය අපේ රටේද පැතිරී ඇත්දැයි සොයා බැලීමට මේ වනවිට ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කොට ඇත. කොවිඩ් රෝගයද අපේ රටේ ව්‍යාප්තිය සිදුවූ ආකාරය දෙස බැලීමේදී වයිරස් රෝගී තත්ත්වයක් වන මෙයද ව්‍යාප්ත නොවේ යන සහතිකය දීමට අපහසුයි. වඳුරු පැපොල වයිරස් රෝගය කොවිඩ් මෙන් වාතය මගින් ස්වසන පද්ධතිය හරහා පැතිරීමට තරම් ශ්‍රීඝ්‍ර ව්‍යාප්තියකින් යුතු නොවන අතරම මාරාන්තික තත්ත්වයක්ද නොවේ.

සංචාරක පිරිස් පරෙස්සමින්

වයිරස් රෝගීන් හමුවූ රටවලට සංචාරය කිරීම මෙන්ම එවන් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිසා රෝගය ඉතා පහසුවෙන් ව්‍යාප්ත වී යා හැකියි. විශේෂයෙන් අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණෙන සංචාරක පිරිස් වෙතින්ද රෝගය පහසුවෙන් සම්ප්‍රේෂණය විය හැකියි. එබැවින් එබඳු රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් අතර ඉහත රෝග ලක්ෂණ ඇත්නම් සෙසු පිරිස් සමග එකට ගැටීමෙන් වැලකිය යුතුයි. කවරකුට හෝ ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.

නිවැරැදි රෝග විනිශ්චය වැදගත්

එසේම මේ දිනවලදී අත් , පා, මුඛ රෝගයද ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එයද වයිරස් රෝගයක් බැවින් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ඉතා පහසුවෙන් සම්ප්‍රේෂණ විය හැකි තත්ත්වයකි. වඳුරු පැපොල රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණය වන සුදු පැහැ වතුර පිරි බුබුළු සිරුර පුරා දැමීම අත් , පා, මුඛ රෝගයේදීද සිදුවේ. රෝගී තත්ත්ව දෙකටම ඉහත රෝග ලක්ෂණය සමාන වේ. එබැවින් රෝග නිශ්චය කිරීම නිවැරැදි වීමද අත්‍යවශ්‍ය අතර නිසි වෛද්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීමද අවශ්‍යයි.

රෝගියකු බවට හඳුනා ගැනීම

තමන් වඳුරු පැපොල රෝග ආසාදිතයකුද යන්න සාමාන්‍යයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් තහවුරු කර ගැනීමට පුළුවන.

ළප කැළැල් මැකෙනවාද?

තවමත් මෙය අලුත් රෝගී තත්ත්වයකි. එබැවින් මෙය පර්යේෂණ මට්ටමේ පවතී. සිරුරේ ඇතිවූ ළප කැළැල් පැපොල රෝගයේ මෙන් ටික දිනකින් සුව වී යනු ඇති.

මාරාන්තික නොවේ

ලෝකයේ රටවල් බොහොමයකම වඳුරු උණ වයිරසය පැතිරී ගියද මෙය මාරාන්තික නොවේ. එබැවින් ජනතාව අනිසි බියක් ඇති කර නොගෙන රෝග ලක්ෂණ පිළිබඳ විමසිල්ලෙන් පසු වීම වැදගත්ය.

-සටහන- මාධවී ධර්මරත්න