පච්චයක් කොටා ගැනීම, කොණ්ඩය දිගට වවා ගැනීම හෝ තමන් කැමති ඇඳුම් විලාසිතාවක් තෝරාගැනීම අද සමාජයේ බොහෝ දෙනකුගේ පෞද්ගලික තේරීමකි. ඇතැම් අයට එය විලාසිතාවකි. තවත් අයට එය තමන්ගේ අනන්‍යතාව ප්‍රකාශ කරන ක්‍රමයකි.

2026 ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පච්ච, ඇඳුම් විලාසිතා සහ අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධ විධිවිධාන පිළිබඳව දේශපාලන හා සමාජ කතිකාවක් ගොඩනැඟී තිබෙන පසුබිමක, පච්චයක් කොටාගෙන සිටින සෑම පුද්ගලයකුම අපරාධකරුවකු ලෙස සැලකිය හැකිද යන ප්‍රශ්නය පිළිබඳව ද මහත් සමාජ කතාබහක් ඇති වී තිබේ.

පච්චයක් හෝ ශරීරයේ සලකුණක් අපරාධ කණ්ඩායමක් භාවිත කරන සංකේතයකට සමාන වූ විට, එම පුද්ගලයා පිළිබඳ සැකයක් ඇති කරගත හැකිද? එවැනි සැකයක් මත කොතෙක් දුරට නීතිය ක්‍රියාත්මක කළ හැකිද? සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන පිළිබඳ සාකච්ඡා මතුව ඇති පසුබිමක, බාහිර පෙනුම සහ අපරාධයකට සම්බන්ධ වීම අතර ඇති වෙනස හඳුනාගැනීම වැදගත් වී තිබේ. මේ සියලු‍ කරුණු පිළිබඳව පොලිස් විමර්ශන ක්‍රියාවලියේදී බාහිර ලක්ෂණ යොදාගන්නා ආකාරය, නව නීතිමය විධිවිධානවල සීමාවන් සහ සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාර්ශ්ව ද්විත්වයකින් විමසා බැලීමක් කළ අතර, මේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකින් සැකැසුණකි.

නිර්දෝෂී තරුණයන් අපරාධකරුවන් ලෙස ලේබල් වීමෙන් කලකිරීමට පත්වී සැබෑ ලෙසම අපරාධ වෙත තල්ලු‍ වීමේ අවදානමක් තිබෙනවා

  වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පෙන්වා දෙන්නේ පුද්ගලයකුගේ බාහිර පෙනුම, පච්ච, කොණ්ඩා මෝස්තරය හෝ ඇඳුම් විලාසිතාව පමණක් පදනම් කරගෙන ඔහු කෙරෙහි අත්තනෝමතික ලෙස සැක පහළ කිරීමට නීතිමය ඉඩක් නොමැති බවයි. අපරාධ විමර්ශනයකදී සැකය පදනම් විය යුත්තේ වාස්තවික සාක්ෂි සහ අදාළ අපරාධයට එම පුද්ගලයා සෘජුව හෝ වක්‍රව සම්බන්ධ බව පෙන්වන සාධාරණ කරුණු මත බව ඔහු අවධාරණය කරයි.

■    ලංකාවේ දැනට බලාත්මක නීතිය යටතේ පුද්ගලයකුගේ බාහිර පෙනුම මත පමණක් ඔහු අපරාධකරුවකු ලෙස සැලකීමට හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් තිබෙනවාද?

පොලිසියට කිසිදු බලයක් නැහැ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) වගන්තිය මඟින් නීතියෙන් නියම කරනු ලැබූ පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු අත්අඩංගුවට නොගත යුතු බවට මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර තිබෙනවා. ශ්‍රියානි සිල්වා එරෙහිව ඉද්දමල්ගොඩ (2003) සහ එල්මෝ පෙරේරා එරෙහිව මහින්ද බාලසූරිය (2010) වැනි ශේෂ්ඨාධිකරණ තීන්දුවලදී පැහැදිලි කර තිබෙනවා, සාධාරණ හේතුවක් නොමැතිව පෙනුම හෝ අනුමාන මත අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව.

අත්අඩංගුවට ගැනීමක් සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32(1)(ආ) යටතේ අවශ්‍ය වන “සාධාරණ සැකය” එක අයෙකුගේ පෙනුමෙන් පමණක් ස්ථාපිත කළ නොහැකියි. Ruwan Kumara v. Inspector General of Police and Others (SC FR 265/2012)  නඩු තීන්දුවේ අධිකරණය සඳහන් කළේ එවැනි සැකයක් නිශ්චිත හා සත්‍යාපනය කළ හැකි කරුණු මත පදනම් විය යුතු බවයි.

■    පච්චයක් සාක්ෂියක් වන්නේ කුමන අවස්ථාවකදීද?

පච්චයක් හෝ වෙනත් විශේෂ ශාරීරික සලකුණක් සැකකරුවකු හඳුනාගැනීමට උපකාරී වෙන්න පුළුවන්. එහෙත් එම ලක්ෂණය තිබීමෙන් පමණක් ඔහු අපරාධය සිදු කළ බව තහවුරු වෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස, අපරාධය සිදුවන අවස්ථාවේදී අපරාධකරුගේ ශරීරයේ තිබූ විශේෂිත පච්චයක් දුටු බවට සාක්ෂිකරුවකු ප්‍රකාශ කරන්නේ නම්, එම විස්තරය සැකකරුවකු හඳුනාගැනීමට උපකාරී විය හැකියි.

පච්චයක් හෝ කොණ්ඩා මෝස්තරයක් විමර්ශනය ආරම්භ කිරීම සඳහා අනුමානයක් විය හැකි වුණත්, අධිකරණයකදී වරදකරුවකු කිරීමට හෝ සාමාජිකත්වය තහවුරු කිරීමට එම සංකේතය හැර වෙනත් සම්බන්ධතා (දුරකථන වාර්තා, මුදල් ගනුදෙනු, සෘජු සාක්ෂි) සාක්ෂි ආඥාපනත යටතේ තහවුරු කළ යුතු වෙනවා. එකම රූපයක් හෝ සංකේතයක් වෙනත් පුද්ගලයන්ට වෙනත් අර්ථයකින් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. පච්චය වැදගත් වන්නේ එය කණ්ඩායමේ සාමාජිකයන් සමඟ රැස්වීම්, සාමාජිකයන් විසින් හඳුනාගැනීම, කණ්ඩායම සමඟ ක්‍රියාකාරී සම්බන්ධය, බඳවාගැනීම්, මුදල් හෝ ද්‍රව්‍යමය ප්‍රතිලාභ, අපරාධ ක්‍රියාකාරකම් හෝ initiation  වැනි ස්වාධීන කරුණු සමඟ එකට සලකා බැලූ විට පමණයි.

ඒ වගේම තමයි කිසිම වෙලාවක පච්චයක් හෝ සලකුණක් ස්වාධීන සාක්ෂියක් වන්නේ නැහැ. එය සහකාර/සම්බන්ධිත සාක්ෂියක් විදිහට පමණයි භාවිත වන්නේ. සාක්ෂිකරුවකු අපරාධය සිදුවන අවස්ථාවේදී අපරාධකරුගේ ශරීරයේ ඇති එකී විශේෂිත පච්චය දුටු බවට ප්‍රකාශ කර තිබීම සහ පසුව පැවැත්වෙන නිල හඳුනාගැනීමේ පෙරෙට්ටුවකදී අදාළ පච්චය සහිත පුද්ගලයා නිවැරදිව හඳුනාගැනීම යන අවස්ථාවලදී එය නීතිමය වටිනාකමකින් යුක්ත වෙනවා. අධිකරණය අවසානයේ සලකා බලන්නේ “එම පුද්ගලයා එම ස්ථානයේ සිටියාද?” යන්න පමණක් නොවෙයි; “ඔහුම අපරාධ ක්‍රියාව කළ බව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබේද?” යන්නත් සලකා බැලෙනවා. ශරීරයේ පච්චයක් තිබීමෙන් අපරාධයට සහභාගීත්වය හෝ අවශ්‍ය මානසික අංග ස්වයංක්‍රීයව ඔප්පු වෙන්නේ නැහැ.

■    පච්චයක්, කොණ්ඩා මෝස්තරයක් හෝ ඇඳුම් විලාසිතාවක් වැරදි ලෙස අර්ථකථනය කිරීම නිසා නිර්දෝෂී පුද්ගලයකු අපරාධ සැකකරුවකු බවට පත්වුවහොත්, ඔහුට නීතිමය ආරක්ෂාවක් තියෙනවාද?

පුද්ගලයකු කැමති පච්චයක් කොටා ගැනීම, කොණ්ඩය වවා ගැනීම හෝ තමන් කැමති ඇඳුම් විලාසිතාවක් තෝරා ගැනීම ඔහුගේ පෞද්ගලික නිදහසට අයත් කාරණයක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය (සිතීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස) සහ 14(1)(අ) වගන්තිය (අදහස් ප්‍රකාශ කිරීමේ හා ස්වයං ප්‍රකාශනයේ නිදහස) මඟින් පුද්ගලයකුගේ පෙනුම සහ විලාසිතා තෝරාගැනීමේ අයිතිය තිබෙනවා.

ඒ වගේම යම් පුද්ගලයෙකුව නොහොබිනා ලෙස අත්අඩංගුවට ගනු ලැබුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය යටතේ ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර වන්දි ලබාගත හැකියි. ඒ වගේම අසත්‍ය චෝදනා මත නඩු පැවරුවහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අපහාසයට සහ අයුතු ලෙස සිරකර තැබීමට එරෙහිව සිවිල් වන්දි නඩුවක් පැවරීමේ අයිතිය තිබෙනවා. ICCPR Article 9(5)  අනුව නීති විරෝධී අත්අඩංගුවකට ගොදුරු වූ අයට වන්දි සඳහා ක්‍රියාත්මක කළ හැකි අයිතියක් ද ලබා දී තිබෙනවා.

■    බාහිර පෙනුම මත පදනම්ව තරුණයන්, කලාකරුවන්, යතුරුපැදි ධාවකයන් හෝ විකල්ප විලාසිතා භාවිත කරන්නන් අපරාධකරුවන් ලෙස ලේබල් කිරීමෙන් සමාජයට සිදුවිය හැකි හානිය කුමක්ද?

මෙය සමාජ විද්‍යාවේ ”‍ලේබල් කිරීමේ න්‍යාය”‍ ලෙස හඳුන්වනවා. නිර්දෝෂී තරුණයන් අපරාධකරුවන් ලෙස ලේබල් වීමෙන් කලකිරීමට පත්වී සැබෑ ලෙසම අපරාධ වෙත තල්ලු‍ වීමේ අවදානමක් තිබෙනවා. ලේබල් කිරීම, අසාධාරණ පොලිස් නිරීක්ෂණ, නිතර නිතර ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම්, රැකියා හා අධ්‍යාපන අවස්ථා අහිමි වීම, ප්‍රජා විශ්වාසය බිඳ වැටීම සහ සමාජයෙන් කොන් වීම වැනි දේවල් තුළින් නීතිය පසිඳලීමේ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ ගෞරවය නැති වී යන්න පුළුවන්. විශේෂයෙන් තරුණයන්ට “ඔබ පෙනුමෙන්ම අපරාධකරුවෙකි” යන පණිවිඩය ලැබීම, ඔවුන් නීතියෙන් ඈත් කර ප්‍රජා සහාය අඩු කළ හැකියි. අපරාධය මර්දනය කිරීම සඳහා රාජ්‍යයට බලය තිබිය යුතුයි, නමුත් පුද්ගලයෙකුගේ ශරීරය, කොණ්ඩය හෝ ඇඳුම ඔහුගේ වරදට කෙටි මාර්ගයක් බවට පත් කළ නොහැකියි.

”‍දැනට අවුරුදු 40 කට 50 කට ඉස්සෙල්ලා සියයට 90 ක්ම පච්ච තිබිච්ච අය අපරාධකාරයෝ.”‍

-විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ

■   පච්ච සහ ශරීරයේ සලකුණු, කොණ්ඩ මෝස්තර අපරාධ විමර්ශනයකදී හඳුනාගැනීමේ සාධක ලෙස යොදාගැනීම පිළිබඳව පොලිසියේ ස්ථාවර භාවය කොයි වගේද?

යම්කිසි කෙනෙක් යම් අපරාධයක් ප්‍රමෝට් කරන පච්චයක් ගහගෙන ඉන්නවානම්, එහෙමත් නැත්නම් බුදුහාමුදුරුවන්ගේ රූපය විකෘති කරලා පච්ච කොටන් ඉන්නවානම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රූපය විකෘති කරලා ගහගෙන ඉන්නවානම්, එහෙමත් නැත්නම් ඉස්ලාම් ආගමට පටහැනි දෙයක්, හින්දු ආගමට පටහැනි දෙයක් පච්ච ගහගෙන ඉන්නවානම්, ඒ තුළින් ජාතීන් අතර අසමගියක් වුණත් ඇතිවිය හැකියි.

ඒ වගේම යම්කිසි කෙනෙක්ට අශෝභන දෙයක් (ලිංගික අවයවයක්) බෙල්ලේ හෝ මුහුණේ ශරීර කොටසක පච්ච කොටාගෙන ඉන්නවා නම්, ඒ වගේ දේවල් ආගමකට නිගාවක් දෙනවා නම්, නැත්නම් ජාතීන් අතර අසමගියක් ඇතිවෙනවා නම්, නැත්නම් යම්කිසි කෙනෙකුට අප්‍රසන්නතාවයට පත්වෙන ආකාරයේ දේවල් තියෙනවා නම් ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු වෙනවා. ඒවා මම දකින්නේ නීතිය ක්‍රියාත්මක කළ යුතු වරදක් ලෙස. නමුත් කලාවක් හැටියට කරන පච්ච වරදක් හැටියට දකින්නේ නැහැ.

ශ්‍රී ලංකා පොලීසියේ බඳවාගැනීමේ පටිපාටිය අරගෙන බැලු‍වාම සුද්දෝ හදපු දවසේ ඉඳලා අද වෙනකම්ම ලංකාවේ පොලීසියට පච්ච කොටලා තියෙන පුද්ගලයන්ව බඳවාගන්නේ නැහැ. දැනට පොලිසියට බඳවා ගැනීමේ පටිපාටියේ 7 වෙනි වගන්තියේ 7.2.2.5 වගන්තියේ සඳහන් වෙලා තියෙනවා ”‍පොලිස් සේවයේ ගෞරවයට නොගැලපෙන හා රාජකාරිවලට බාධා විය හැකි අන්දමේ කෘතිම ශාරීරික වෙනස්කම් කර නොතිබිය යුතුයි”‍ කියලා. ඒක පොලිසියට බඳවා ගැනීමේ මූලික කොන්දේසියක්. අපි එංගලන්තේ පොලිසිය අරගෙන බැලු‍වත්, ඕස්ට්‍රේලියාවේ පොලිසිය අරගෙන බැලු‍වත්, අත්වල, ඒ වගේම මුහුණේ, බෙල්ලේ පච්ච කොටලා තියෙන අය පොලිසියට බඳවා ගන්නේ නැහැ. ඒක තමයි දැනට තියෙන සම්ප්‍රදාය.

ඒ වගේම ලංකාවෙත් ටැටූ තියෙනවානම් බඳවා නොගන්නා රැකියා තියෙනවා. පච්ච තියෙනවා නම් රැකියා සඳහා වීසා දෙන්නේ නැති රටවල් තියෙනවා. සමහර අවස්ථාවල පච්චය කියන්නේ යම් කෙනෙකුගේ පෞරුෂයට හානි ගෙන දෙන දෙයක්.

නමුත් සාමාන්‍ය කෙනෙකුගේ ලස්සනට එහෙමත් නැත්නම් යම්කිසි ආගම් භක්තියක් නිසා ආසාවට ටැටූ ගැසීම වරදක් කියලා මම දකින්නේ නැහැ. හැබැයි මම කලින් පැවසූ ආකාරයට ප්‍රචණ්ඩත්වය ඇතිකරන දේවල්, අප්‍රසන්නතාවය ඇතිකරන දේවල්, ජාතීන් අතර අසමගිය ඇතිකරන දේවල්, මිනිස්සු දකින්න අප්‍රිය වගේ දේවල් ටැටූ තුළින් පච්ච කොටාගෙන සිටින පුද්ගලයා ටාගට් වෙන්නත් පුළුවන්. ඒ වගේම මෙම ටැටූ නිසා තව ජාතියක්, තව ආගමක් අදහන පිරිසක් යම් ආකාරයකට වින්දිතයෝ බවට පත්වෙන්නත් පුළුවන්.

■  අපරාධ විමර්ශනවලදී පච්ච සහ ශරීරයේ සලකුණු හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද?

අපරාධයකදී එවැනි දේවල් ගැන විශේෂ විමර්ශනාත්මක ඇසකින් අපි බලනවා. උදාහරණයක් ගතහොත් හයිටි රටේ ‘සිටි සොලෙයි‘ කියන කුඩා නගරයේ ඉන්නවා යම් අපරාධ කණ්ඩායම්. ඒ හැම කෙනෙකුගේම මාපට ඇඟිල්ලේ පච්චයක් විදිහට තුවක්කුවක් කොටාගෙන තියෙනවා පොඩියට. ඒ ගැං එකේ අය අඳුරගැනීමේ සංඥාවක් විදිහට තමයි ඒ පච්චය කොටලා තියෙන්නේ. ඒ වගේ යම්කිසි අපරාධ කණ්ඩායමක සාමාජිකයින් හඳුනාගැනීම සඳහා ලෝකයේ සමහර රටවල් වල අපරාධකරුවන් සංඥා විදිහට මේ පච්ච භාවිතා කරනවා. ඒ වගේම අපරාධකරුවකුට නීතියෙන් බේරීමට ව්‍යාජ නම්, වෙස්වලා ගැනීම් කරන්න පුළුවන් වුණත් ස්ථිරව කොටපු පච්ච වැනි දේවල් සහ උපන් ලප පහසුවෙන් ඉවත් කළ නොහැකි නිසා සැකකරුවන් හඳුනා ගැනීමේ ප්‍රබල සාක්ෂියක් ලෙස පච්ච භාවිතා කළ හැකියි.

දැනට අවුරුදු 40 කට 50 කට පෙර ලංකාවේ යම් ආකාරයක අපරාධ වලට නැඹුරු වෙච්ච මිනිස්සු පච්ච කෙටීම බහුලවම සිදු කළා. ඒ තත්ත්වය අඩු වැඩි වශයෙන් තාමත් තියෙනවා. එදා මිනිස්සු පච්ච කොටාගෙන පිහියක් අරගෙන පාරේ යනකොට මිනිස්සුන්ව කොල්ලකෑම, ත්‍රාසජනක බව, බියගැන්වීම ඇතිකරන ස්වභාවයක් තිබුණා. අද වෙනකොට නම් පාතාලේ පච්ච කෙටීම අවම වුණත් අතරින් පතර තාමත් ඒ වගේ අය ඉන්නවා. නමුත් දැනට අවුරුදු 40 කට 50 කට ඉස්සෙල්ලා 90% ක්ම පච්ච තිබිච්ච අය අපරාධකාරයෝ.

මේ වෙනකොට පච්චය සාමාන්‍ය පුද්ගල විලාසිතාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා පච්චයක් කොටාගත්ත පමණින්ම ඒ පුද්ගලයා අපරාධ කල්ලියක සාමාජිකයෙක් කියලා අපට ලේබල් කරන්න බැහැ. නමුත් ඔය පනතට සමහර නිර්ණායක යොදලා තියෙන්නේ ලෝකයේ තියෙන හොඳම ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳ අධ්‍යයනයකින් යුතුව සහ දැන් ලෝකයේ තියෙන උදාහරණත් එක්කයි. මොකද ලෝකේ සමහර ස්ථාන වල අපරාධ කල්ලිවල සාමාජිකයෝ තමුන්ව අඳුරගන්න පච්ච කොටාගෙන තියෙන අවස්ථා තියෙනවා.

■  ලංකාවේ පාතාලය තුළත් එවැනි දේවල් තියෙනවාද?

ලංකාවේ එවැනි අවස්ථා හමුවෙලා තියෙන්නේ කලාතුරකින්. අතීතයේ පාතාලේ එවැනි දේවල් බහුලව තිබිලා තියෙනවා. නමුත් පච්චයක් තිබුණු පමණින්ම ඒ පුද්ගලයා අපරාධකාරයෙක් කියලා කියන්න බැහැ. එහෙම වෙන්නෙත් නැහැ. නමුත් යම් විමර්ශන කටයුත්තකදී අපරාධයකට සැක පුද්ගලයෙක් නම්, එයාට පච්චයක් තිබූ බවට සාක්ෂි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගැඹුරින් පොලිස් විමර්ශන සිදු කෙරෙනවා.

- නදීශා අතුකෝරළ