
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වන ජීවී නිලධාරීන් වෙත අද (03) උදෑසන භාර දෙනු ලැබීය.
නිල්වලා ගඟේ සිට පිලදුව ඇල ඔස්සේ ඊයේ (02) රාත්‍රී 11.00 ට පමණ පැමිණි කිඹුලාට ආපසු නිල්වලා ගඟට යාමට නොහැකි වන පරිදි කොටු කර ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබුණි.
ඒ අනුව පැය 06ක පමණ කාලයක දී අල්ලා ගත් කිඹුලා ගැට ගසා මිරිස්ස වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට ඔවුන් කටයුතු කලේය.
කිලෝ දහසකට වැඩි බරකින් යුත් මෙම කිඹුලාගේ අත් පාද අඩි තුනකට පමණ වැඩී තිබු බව ප්‍රදේශවාසීහු සදහන් කලෝය.
විශේෂයෙන්ම ගැට කිඹුලන් නිල්වලා ගගට ආවේණික සතෙකු වන නිසා ඌ යලි වෙනත් ප්‍රදේශයකින් එම ගගටම මුදා හරින බව වන ජීවී නිලධාරීන් පැවසීය.
කෙසේ වෙතත් දීර්ඝ කාලීනව තම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන කිඹුල් මිනිස් ගැටුමට ස්ථිරසාර විසදුමක් ලබා දෙන ලෙසත් එසේ නොවනතාක් මෙම ගැටුම පවතින බවත් මාතර නාගරික මන්ත්‍රී මලිදු ගජධීර මහතා පැවසීය.
ප්‍රදේශවාසීන් හා වන ජීවී නිලධාරීන් අදාල කිඹුලා කර මතින් රැගෙන ගොස් ට්‍රක් රථයක පටවා ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යනු ලැබීය.
මෙම අවස්ථාව දැක බලා ගැනීම සදහා විශාල පිරිසක් ඒකරාශී වී සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටේ කොහෙද තිබ්බේ?
බැරිද දන්නේ නැහැ... දියවන්නාවට ගෙනිහින් දාන්න... ?