( ටී.කේ.ජී.කපිල )

ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද(19 )  කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .

මෙම තරගාවලිය 07 සිට 17 දින දක්වා ප්‍රංශයේ පැරිස් නුවර රටවල් 106 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී ටී.46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ  ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ ටී.44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ සමිත දුලාන් එම ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණි .

මොවුන් අද 19 දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා , ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් ඇතුළු එම කමිටුවේ  සාමාජිකයන් , ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.