(යොහාන් භාසුර)

වර්තමාන ‘මාලිමා’ ආණ්ඩුව තරම් වසර දෙකක් ගතවෙන්නටත් පෙර අප්‍රසාදයට පත්වූ, දුර්වල සහ මහජනතාවට එපාවූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නොතිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (14) පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවේදී සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා මෙසේ ද අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරරමුණ අනුරාධපුරයේදී පැවැත්වූ රැස්වීමට මහා ජනකායක් සහභාගී වුණේ මේ රජයට වසර දෙකක් පිරෙන අවස්ථාවක. ශ්‍රී ලංකා ඉතිහාසයේ විවිධ රජයන් තිබුණ අතර එයින් ශක්තිමත් රජයන් සහ දුර්වල රජයන් තිබුණා. හැබැයි දුර්වල රජයක් වුණත් කඩාවැටෙන්න, අප්‍රසාදයට පත්වෙන්න යම්කිසි කාලසීමාවක් ගතවුණා. නමුත් වසර දෙකක් ගතවෙන්න මත්තෙන් මෙපමණ අප්‍රසාදයට පත්වෙච්ච, දුර්වල තත්වයට පත්වෙච්ච, මහජනතාවට එපාවූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ මා දන්නා අකාරයට ඇතිවී තිබෙන්නේ මෑත ඉතිහාසයේ පළමු වතාවට. මේ වත්මන් ආණ්ඩුව ඒ ජනතාව අතර ඉතාම දැඩි අප්‍රසාදයට ලක්වූ ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා.

ඒ වගේම පසුගිය දිනවල අපි මෙම අනුරාධපුර රැළිය සංවිධානය කරනු ලබනවා යන්න දැනගත් අවස්ථාවේ සිට මේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා රටපුරා රැස්වීම් තියාගෙන යන්න ආරම්භ කළා. මීට පෙර මේ රටේ ආණ්ඩු, ජනාධිපතිවරු ජයග්‍රාහණය කර ආණ්ඩු බලය ලබාගත් පසු මේ ආකාරයට රටපුරා රැස්වීම් තියාගෙන ගියේ නැහැ ඡන්දයක් නැති අවස්ථාවක. හැබැයි හිටපු ජනාධිපතිවරු, රාජ්‍ය නායකයෝ මේ ආකාරයේ රැස්වීම් සෑමවිටකම තැබුවේ යම්කිසි මහා දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමයක් ආරම්භ කරන්න හෝ එය විවෘත කිරීමටයි. නමුත් ලංකා ඉතිහාසයේ අපි පළවෙනි වතාවට දකිනවා රාජ්‍ය බලය, ආණ්ඩු බලය තියෙන රාජ්‍ය නායකයා කිසිදු එවැනි සංවර්ධන ව්‍යාපෘතියක් හෝ කිසිදු දෙයක් නොමැතිව ඡන්දයට පෙර සේ නැවත බොරුවට කියවමින්, බොරු පොරොන්දු දෙමින් රැස්වීම් පවත්වනවා. මේ සිදුකරන්නේ රටේ මුදල් නාස්ති කිරීමක්. මේ සම්බන්ධයෙන් මෙයට දායක වෙන සියලුදෙනාට ඊලඟ අපේ රජය යටතේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සිදුවේ.

ජනාධිපතිවරයා පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ කළ කතා ද්විත්වය බැලුවා ප්‍රවෘත්ති තුළින්. එතුමා රටේ ජනාධිපතිවරයා හැටියට රට ගැන කතා නොකර එතුමා කතා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි නායකයින් ගැන. ගරු ජනාධිපතිතුමනි ඒ ගැන නම් අපිට ආරම්භයි, ඔබතුමාලා බලයට පැමිණ අවුරුදු දෙකක් යන විට රටපුරා රැස්වීම් තබා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි, එහි නායකයින්ව විවේචනය කරමින් යෑමට සිදුවී තිබෙනවා කියන්නේ ඔබතුමා පරාජය පිළිඅරගෙන තිබෙනවා කියලා.

ජනාධිපතිවරයා ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙක් අතිතයේ නොකරපු මහජන මුදල් විනාශ කරමින්, රටේ සංවර්ධනය සඳහා රාජ්‍ය නායකයා විසින් වෙන් කළ යුතු කාලය විනාශ කරමින්, කිසිදු තේරුමක් නොමැතිව සිදුකරන කටයුත්තක් මේ සිදුකරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට ප්‍රකාශ කර සිටිනවා මේ වගේ තේරුමක් නොමැතිව, ඔබේ ප්‍රදේශයට කිසිදු සංවර්ධයක් ගෙන එන්නේ නැතිව ඡන්දයට පෙර සිදුකළා සේ නැවතත් බොරු පොරොන්දු දෙන රැළිවට සහභාගී වීම කාලය නාස්ති කිරීමක්” යැයි සඳහන් කළේය.