(රෝෂන් තුෂාර)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් නැති බැරි ජනතාව නගා සිටුවීමේ හා ගිලන් වූ ස්වාමීන් වහන්සේලාට උපකාර කිරීමේ සමාජ සත්කාර වැඩසටහන් සඳහා ආධාර එකතුකර මුදල් වංචා කළේ යැයි අත්අඩංගුවට සැකකරුවකු ලබන 6 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිළිමතලාව පදිංචි නලින්ද අල්විස් නමැති සැකකරුවකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

රහස් පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය වසරේ ජුනි මාසයේදී කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු විදේශගතව සිට ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගත් බවයි.