(අංජුල මහික වීරරත්න)

පසුගිය දෙවසර තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතබමින්, සියලු ජන කොටස් අතර සහජීවනය, සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ගිය වැඩපිළිවෙළට ආශිර්වාද පළ කරන බව හින්දු පූජකවරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ ප්‍රකාශ කළහ.

රටේ අනාගත පරපුර විනාශ කරමින් පවතින විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළටත් ආශිර්වාද කරන බවද හින්දු පූජකවරු කීහ.

කොළඹ, මඩකලපුව, යාපනය සහ කඳුකරය නියෝජනය කරමින් පැමිණි හින්දු ආගමික නායකයින් පිරිසක් අද (10) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වු අවස්ථාවේදී මේ බව සඳහන් කෙරිණි.

ආගම හෝ සංස්කෘතිය පදනම් කර ගනිමින් ජාතිවාදය වැපිරීමට උත්සාහ කරනවා නම් ඊට තමන් විරුද්ධ බවත්, ආගමකින් කළ යුත්තේ සියලු දෙනාට ආදරය බෙදාහැරීම බවත් මෙහිදී හින්දු පූජකවරු වැඩිදුරටත් පෙන්වා දුන්හ.