ශී‍්‍ර ලංකාව සහ නවසීලන්ත පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී රංගන හේරත්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කඩුලූ 10 ක පහසු ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැති ටෙස්ට් තරගයකදී හොඳම පන්දු යැවීම වාර්තා කළ රංගන හේරත් ගාල්ල ටෙස්ට් තරගයේදී ලකුණු 108 කට කඩුලූ 11 ක් දවාගනිමින් 2012 වසරේදී මෙතෙක් වැඩිම කඩුලූ දවාගෙන සිටින ටෙස්ට් පන්දු යවන්නා බවටද පත්විය. මෙම වසරේදී ටෙස්ට් තරග 7 කට සහභාගි වී ඇති හේරත් කඩුල්ලක් සඳහා ලකුණු 21.34 ක සමාන්‍යයක් රඳවා ගනිමින් කඩුලූ 46 ක් ලබාගැනීමට සමත්ව සිටින අතර ඔහුට ඉතාමත් ආසන්නයේ සිටින එංගලන්ත පිලේ ගේ‍්‍රඒම් ස්වෝන් 2012 වසරේදී ටෙස්ට් තරග 11 කට සහභාගි වෙමින් කඩුලූ 45 ක් දවාගෙන ඇත්තේ කඩුල්ලක් සඳහා ලකුණු 32.46 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මේ වන විටත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව සිවුවැනි ස්ථානයේ සිටින හේරත්, නවසීලන්ත පිතිකරුවන් අන්ද මන්ද කරමින්, ඉතාමත් පහසුවෙන්ම ගාල්ල ටෙස්ට් තරගයේ වීරයා සම්මානය තමන් සතුකරගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත පිල පළමු ඉනිමේදී ලකුණු 221 කට දවාගැනීමට සමත්වූ නමුත් ඉදිරි පෙළපිතිකරුවන් අසාර්ථක වීම නිසා ශී‍්‍ර ලංකා පිල සිතූ තරම් විශාල මුල් ඉනිමේ වාසියක් ලබාගත නොහැකි විය. එවන් තත්ත්වයක් මත නවසීලන්ත පිලට ලබාගත හැකිව තිබූ තරගයේ වාසිය කණපිට පෙරැුළුෑ හේරත් ඊයේ දිනයේදී ලකුණු 43 කට කඩුලූ 6 ක් දවාගත්තේ ශී‍්‍ර ලංකා පිලේ ජයග‍්‍රාහී ඉලක්කය ලකුණු 93 ක් තරම් ආසන්නයට ගෙන එමිනි. සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ දිමුත් කරුණාරත්න මුල් ඉනිමේදී ලකුණු නොලබා දැවී ගියද දෙවැනි ඉනිමේදී අලංකාර පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 60 ක් ලබාගත් අතර තරංග පරණවිතානද නොදැවී ලකුණු 31 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා පිල කඩුලූ 10 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. කරුණාරත්නගේ මංගල ටෙස්ට් අර්ධ ශතකය සඳහා හතරේ පහර 9 ක් ඇතුළත් විය. තරගයේ දෙවැනි දින අවසානයට ස්වල්ප වේලාවකට පෙර ශී‍්‍ර ලංකා පිලේ මුල් ඉනිම ලකුණු 247 කට සීමා කළ නවසීලන්ත කී‍්‍රඩකයෝ සිය ප‍්‍රබලතම පිතිකරුවා වන බ්‍රෙන්ඩන් මැකලම්ගේ කඩුල්ල එදිනම අහිමි කරගත්හ. මහත් බලාපොරොත්තු ඇතිව තුන්වැනි දිනය ආරම්භ කළ නමුත් නවසීලන්ත නායකයාද ඇතුළුව ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනකුම ලකුණු 60 ක් තුළදී දැවී ගිය හෙයින් මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවෝ පීඩනයට නතුවූහ. එහි අනුයාත ප‍්‍රතිඵලය වූයේ සංචාරකයන්ගේ අවසන් කඩුලූ 58 ක් තුළදී ඇද වැටීමයි. තම පන්දු යවන්නන් උපක‍්‍රමශීලීව යොදා ගනිමින් නවසීලන්ත පිතිකරුවන්ට බුරුළක් නොදුන් නායක මහේල ජයවර්ධන විසින් ටෙ‍්‍රන්ට් බෝල්ට් දවාගැනීමට රැුකගන්නා ලද්දේ සිය 189 වැනි ටෙස්ට් උඩපන්දුවයි. මේ වන විට ලෝකයේ වැඩිම ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාවක් රැුකගත් කී‍්‍රඩකයන් අතර තුන්වැනි ස්ථානයේ සිටින මහේලට ඉදිරියෙන් සිටින්නේ  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං (194) සහ ඉන්දීය පිලේ හිටපු කී‍්‍රඩක රාහුල් ද්‍රාවිඞ් (210) පමණි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 25 වැනිදා කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.