(විමුක්ති එස් රුද්‍රිගු)

මැද පෙරදිග යුද්ධය වහාම අවසන් කිරීමටත්, සතියක් තුළ වෙළෙඳ නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් ඉරානය කටාර් රාජ්‍ය මාර්ගයෙන් ඇමෙරිකාවට ඉදිරිපත් කළ යෝජනාව තමන් ප්‍රතික්ෂේප කරන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ ඉරානය ඇමෙරිකානු හමුදාව අතින් දැඩි පරාජයකට පත්ව සිටින නිසා හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීමට ගිවිසුමකට එළැඹීමට ඉරානය උත්සාහ කරමින් සිටින බවයි.

ජනපති ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි මහතා ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවේ තීරණය නිල වශයෙන් ලැබෙන තුරු ඉරානය බලා සිටින බවයි.

එසේම අරග්චි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය අමතමින් පසුගියදා ප්‍රකාශ කර සිටියේ අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර දින හතක් ඇතුළත සාමාන්‍ය නාවික ගමනාගමනය යළි ස්ථාපිත කළ හැකි බවයි. ඒ සඳහා ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග පසුගිය ජූනි මාසයේ දෙපාර්ශ්වය අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ තිබෙන බවද ඉරානය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජනපති ට්‍රම්ප් ඉරාන යෝජනාව ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ ඇමෙරිකානු හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගෙන තිබීම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට හේතුව බවයි. "ඉරානය ගිවිසුමකට එන්න කැමැති, එක හොඳ දෙයක්, මමත් ගිවිසුම්වලට කැමැති, නමුත් මෙම අවස්ථාවේ ඉරාන යෝජනාව පිළිගන්න බැහැ" ජනපති ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කර තිබිණි.