(හර්ෂණ තුෂාර සිල්වා)

මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු දැඩි කොන්දේසිවලට තෙමසක කාලසීමාවකට යටත්ව නාමිකව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පත් කළ කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ පවත්නා ඉතිරි තැන්පතුවලින් සියයට50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම සඳහා පමණක් ලබන 13 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කෙරේ.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව මෙලෙස නැවත ආරම්භ කෙරෙන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 (5) (අ) වන වගන්තිය ප්‍රකාරව සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා ය.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ පැවැති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්ව මඟ හරවා ගැනීමට ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2018 ජනවාරි මස 18වැනිදා ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් ද පත් කළේය.

එම ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයකු/ආයෝජකයන් රැගෙන ඒමට නියෝග කර තිබුණ එම ආයතනයෙන් කිසිදු සාධනීය යෝජනාවලියක් ඉදිරිපත් නොවූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එහෙත් 2018 සහ 2019 වසරවලදී ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුවලින් සියයට 30ක ප්‍රමාණයක් ආපසු ගෙවා දමා ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු 2020 ජූලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා ඇත.