(අංජුල මහික වීරරත්න)

ලංකාවේ විශ්ව විද්‍යාල නිසි පරිදි පවත්වාගෙන යෑමට ආචාර්ය මහාචාර්යවරුන් 12000ක් අවශ්‍ය නමුත් දැනට ඉන්නේ 6000 බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවැසීය.

ඒ අනුව විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය ගුරුවරුන්ගෙන් සියයට 50 ක්ම පුරප්පාඩු වී තිබෙන බව කී ජී.එල් පීරිස් මහතා වර්තමාන ප්‍රශ්නය අලුත් විශ්වවිද්‍යාල හදන එක නොව තිබෙන විශ්වවිද්‍යාල පිළිගත හැකි මට්ටමකින් නඩත්තු කරගෙන යාම බවද කීය.

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (24) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල් පීරිස් මහතා මෙසේද පැවසීය.

අද අපේ රටේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විරැකියාව. මුළු ආසියාවේම ඉහළම ප්‍රතිශතය තිබෙන්නේ ලංකාවේ. ඒ කියන්නේ අධ්‍යාපනය ලබාගත් තරුණ පිරිස අතර 43%කට රැකියා නැහැ. රැකියා නැති උපාධිධාරීන් 40,000 ක පමණ පිරිසක් සිටිනවා. මේ තත්ත්වය එන්න එන්නම උග්‍ර අතට පත් වෙනවා.

මේ අය වෙළඳපොළට ඇතුළු වුණත් රැකියා නැහැ. ඒ අතරින් 50% ක් පමණ රටේ රැකියා නැති නිසා විදේශගත වෙන්න සිදුව තිබෙනවා. නමුත් එයත් දැන් ඉතා අසිරු කටයුත්තක් බවට පත්වෙලා. මක් නිසාද යත් විශේෂයෙන්ම බටහිර රටවල් සංචාරක රැකියා සීමා පනවා තිබෙන නිසා අපේ රටෙන් වැඩිපුරම විදේශගත වෙන්නේ වෛද්‍යවරු. වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 7,000ක් පමණ තියෙනවා. එහෙමනම් කොහොමද ගුණාත්මක වෛද්‍ය සේවයක් අපේ රටේ ජනතාව වෙනුවෙන් සපයා දෙන්නේ? ඒ වගේම තත්ත්වයක් තමයි විශ්වවිද්‍යාලවල පද්ධතිය තුළත් තිබෙන්නේ.