(රෝෂන් තුෂාර)

වසර 16 ක සිර දඬුවම් ලද හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කරන බව පවසා රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි කියන කොළඹ මහාධීකරණ ආරච්චි ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.

අදාල නඩුව විභාග කරන මහාධිකරණ විනිසුරුවරයා කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කල ගලගෙදර ආරච්චිලාගේ චරිත් කුමාර නැමැති සැකකරුවකු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුගේ බැංකු ගිණුම්වලට සරණ ගුණවර්ධනගේ පාර්ශ්වයෙන් අවස්ථා කිහිපයකදී මුදල් බැර වී ඇති බවට සාක්ෂි අනාවරණය වන බවය.

සැකකරු සමග සිටින ඔහුගේ මිතුරකුගේ ගිණුමකටද මුදල් බැර වී ඇති බවද පැවසීය.