‘හදේ කොතනක හෝ හිදියි ඔබ නිඳා නොනිඳා’ සුනිල් එදිරිසිංහයන්ගේ මියුරු ගී පදවැල් මගේ මතකයට එක්වරම නැඟුණේ ලංකාදිපයේ මගේ පත්තර මිතුරා වන දුෂ්‍යන්ත සමරසේනගේ අභාවය පිළිබඳ පුවත සැලවීමත් සමගය. එහු මිය ගියත් සදාකාලිකවම ඔබ අප හදවත් කොතනක හෝ රැදී සිටිනු නොඅනුමනාය. ඒ තරමට ඔහු අව්‍යාජ නිහතමානී සොඳුරු මිනිසෙක් විය.
දුෂ්‍යන්ත මට මුල්වරට හමුවන්නේ ලංකාදිප පරණ ගොඩනැගිල්ලේ දීය. එකල දිනපතා ලංකාදිපයේ සිටි ප්‍රවෘත්ති හඹා ගිය දැවැන්තයින් අතර දුෂ්‍යන්ත ද එක් අයෙක් විය.
වැඩි කලබලයකින් තොරව සීරු මාරුවට අඩිය තබමින් හෙමින් ගමනක යෙදෙන දුෂ්‍යන්තගේ පන්හිඳ වේගවත්ය.
90 දශකයේ මුල් භාගයේ ලංකාදීපයට සම්බන්ධ වු මුල් දින කීපය තුළ ලංකාදිපයේ එවකට ප්‍රාදේශිය ප්‍රවෘත්ති කර්තෘව සිටි නැසීගිය ප්‍රේමතිලක සමරවීරයන් මා කැඳවා දුෂ්‍යන්ත සමඟ ගොස් රත්මලානේ රැස්වීමක් ආවරණය කරන ලෙස දන්වා සිටියේය.
එය මගේ පළමු මාධ්‍ය ආවරණය විය. මගේ ජ්‍යෙෂ්ඨතමයා වුයේ දුෂ්‍යන්තය. අපි දෙදෙනා රත්මලාන කම්කරු සෙවණ ශාලාවට ගියෙමු. මාධ්‍යයට නියමිත අසුන් වල හිද ගත් අපි දෙදෙනා ගෙන් දුෂ්‍යන්ත රැස්වීමේ වාර්තා ලියන්නට පටන්ගත් අතර මා නිසොල්මනේ රැස්වීමේ දේශන වලට කන්දී සිටියෙමි.
‘මචං ඔහොම බෑ ඔයත් කොළයක් අරන් ලියන්න පටන්ගන්න’ දුෂ්‍යන්තගේ උපදෙස් අනුව මමත් රැස්වීම වාර්තා කළෙමි.
හදිසි දෙයක් නොවු නිසා පසුදින අපි රැස්වීම වාර්තා දෙක හුවමාරු කරගෙන කියවීමු. ඔහු මගේ පිටපත කියවද්දී මට හැඟි ගියේ පත්තර ලෝකයෝ මා සිටින්නේ ඔහුට ගව් ගානක් දුරින් බවයි.
ඔහු ලියු පිටපත මා අතට දී කියවන ලෙස කරන ලද ප්‍රකාශය මා අදත් සලකන්නේ පුවත්පත් කන්තෝරුවක ලෙහෙසියෙන් සිදු නොවන විරල සිදුවීමක් ලෙසටය. ඔහු එවැනි තැනකට පත් වුණේ ඔහුගේ සිතේ කොතනකවත් කුහකකමක් පිළිබඳ ඡායාවක් වත් නොතිබු නිසා යයි මට අද සිතේ .
ඉන්පසුව ලංකාදිපයට පැමිණි නවක මාධ්‍යකරුවන්ට ගුරු ගරුකම් දෙන්නට ගොස් දුෂ්‍යන්ත තවත් සමහරුන්ගේ උසුළු විසුළු වලට ලක්වු අවස්ථා ද තැත්තේ ද නැත.
එවැනි අවස්ථාවක කේන්තියෙන් පුපුර පුපුර සිටින දුෂ්‍යන්ත කන්තෝරුව මග හැර නිවසට යයි. පසු දා යළි කන්තෝරුවට එන්නේ කලින් දින සියල්ලම මුළු මනින්ම අමතක කර දමාය.
ලංකාදිපය පිහිටි රාමනායක මාවතේ කඩයකට ගොස් ප්ලේන්ටිය අතට ගෙන මහ පාර අයිනට වී ආගිය දේ කතා කිරිමට ඔහු කැමතිය.
ලොව සෑම දෙනෙකුටම මෙන් සොබා දහමට අනුව හඹා එන දුකඛ දෝමනස්සයන් ලෙඩ රෝග සහ විපත්හි දුෂ්‍යන්ත පසු පස හඹා ආවේය. දශකයට පෙර ඔහුගේ බිරිඳ හදිස්සියේ ම මිය ගියාය. එය ඔහු ජිවිතයේ මුහුණ දුන් දරුණුම ඛේදවාචකය විය.
දියණියන් දෙදෙනාගේ රැකවරණය අනාගතය දුෂ්‍යන්ත කර මතට ආවේය. ආදරණිය බිරිඳගේ දේහය ආදාහනාගාරයට ඇතුළු කර දියණියන් දෙදෙනාගේ දෑත් අල්ලාගෙන ආදාහනාගාරය පැකුණු කළ දුෂ්‍යන්ත කුඩා දරුවෙක් මෙන් ඉකි ගසා හැඩුවේය.
එහෙත් අද දවසේ දුෂ්‍යන්තගේ නිසල සිරුර ආදාහනාගාරය තුළ දැවෙද්දී ඉකි ගසා හඬන්නට අද ඔහුට ඉතිරිව ඇත්තේ ඔහු රැක බලා ගත් ඒ දියනියන් දෙදෙනා පමණි. ජිවිතය කියන්නේ ඒ ටිකටය.
ගතවු වසරක කාලයේ ඔහු හා දුරකථනයෙන් සමීප වන්නට නොහැකි විය. ඒ මාද බරපතල ලෙස රෝගාතුර සිටි නිසාය. ඒ සංක්‍රාන්ති කාලයේ බොහෝ දේ සිදු වී හමාරය.
කිනම් මොහොතක හෝ අපි ජිවිතයට සමු දීය යුතුය. එය සොබාදහමේ උරුමයයි. එම උරුමය පිටුපා නොහැකිය. එහෙත් ප්‍රශ්ණය වන්නේ තවත් ටික කාලයක් හෝ ජිවත් විය යුතු බව මෙලෙස සහෘදයන් හැර යන්නේ ඇයි ද යන්නය.
එසේ නොගොසින් සිටින්නට බැරි බව දනිමු. ඒ නිසා යා යුතුමය.නෑවිත් යන්ට බැරි බවත් දනිමු. එම නිසා ඔබ ආපසු ආ යුතුය. ඒ යන එනගමනක දහස් වාරයක් විය හැකිය. ඒ දහස් වාරයෙන් මතු දිනක ඔබට අප යළීත් හමුවිය හැකි වනවා ඇත.
මේ සසර ගමනේ ඔබ රෝස මල් යහනාවක පහස ලැබු අයෙක් නොවේ. ඔබ දුවිල්ලෙන් ඉපදි දුවිල්ලෙන්ම ජිවිතය අහවර කරගත් උතුම් මිනිසෙකි. ඔබේ සංවරකම හැදියාව සහ විශේෂයෙන් මනුස්සකමත් අතිනුත් ඔබ කිරා බලන විට ඔබ මිල කළ නොහැකිය. සොයුර ඔබට සුබ ගමන් !
දේහය කෝට්ටේ , මාදිවෙල , ඔබහේන පාර අංක 15 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (03) පස්වරු 5.00 ට බැද්දගාන ආදාහනාගාරයේ දී සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් රජයේ සේවයෙන් විශ්‍රාම ගොස් විදේශයක උන්නත් පත්තරේ බලනකොට මේ මුහුණ දැක්කම හුරුපුරුදු මුහුණක් උනත්, හරියට හිතන්න බැරිව ගීයා. මම විගණන කටුතුවලට ගියාම හරිම හිතවත්ව මට අවශ්‍ය දේවල් දුන්නා. මග තොටදී හමු උනත් හිතවත්ව කතා කලා සමරසිංහ.එන්. එච්. කිවුවාමයි මගේ හිතට ආවේ. ස්තුතියි. ඒ කාලේ උන්නේ හරිම හොද අය. දැන් එහෙම අය නෑ කියනවා නොවෙයි. "දුෂ්‍යන්ත සමරසේනට නිවන් සුව පතමු". (ර)
විප්ලවකාරී අදහස් තිබු මගේ මිතුරා පසුකාලීනව වෙනස් අදහසක් තිබුබව රහසක් නොවේ එහෙත් ඔහු කිසිවෙකු පාවාදුන්නේ නැත ඔහු සැබෑම මත තිබු මාධ්‍යවේදියකි. (ර)
අකලට පරව ගිය සොදුරු මිනිසා ඔබය, අපේ හදවත්වලින් කිසිදා නොමැකී යන.... දුක්බරයි, ඔබේ නික්මයාම... (ර)
ඔහුට නිවන් සුව ලැබිෙවා.! (ර)
ඔබට නිවන් සුව! (නි)
මිනිස් සුවඳින් පිරි ඔබගේ නික්මයාම අපට මහත් වේදනාවකි (නි)
ඇත්තෙන්ම ඔබ සොඳුරු මිනිසෙකි (නි)
සහෝදරයාණෙනි, ඔබට නිවන් සැප ලැබේවා! මතු උපදින ආත්මය දුක් දොම්නස් ඇති නොවේවා! (නි)
දුෂ්‍යන්ත පළමුවෙන්ම රැකියාවකට කොළඹ ආවේ 1975 දී. ඒ රජයේ සේවයට. ඔහුගේ මුල්ම සේවා ස්ථානය උනේ ණය සහන සභා දෙපාර්තමේන්තුව. ඒ අතරම ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද යෙදුණා.ඔහු වෘතීය සමිති කටයුතුවලට දැඩි ඇල්මක් දැක්වුවා. ටිකකලකින්ම ඔහු රජයේ සේවයට ආයුබෝවන් කියා පත්තර රස්සාවට ගියා. ඒත් 1975 දී මුණගැසුන අලුත් මිතුරන් කිසිකෙනෙක් ඔහු අමතක කලේ නැහැ. පසුගිය වසර 41 පුරාවට ඔවුන්ගේ දුකේදී සැපේදී ඔවුන් අතරම සිටියා. 1975 ඔහුගේ මිතුරන් කීපදෙනෙක් ඔහුට පෙර මෙලොව හැර ගියා. එවන් අවස්ථාවන් ලංකාවේ කොතැනක තිබුනත් ඒ හැම එකකටම ඔහු නොවැරදීම සහභාගී උනා. එවැනි අවස්ථාවලදී ශෝකය ප්‍රකාශ කිරීමට බැනරයක් සදාදුන්නෙත් දුෂ්‍යන්ත. ඒ බැනරය මෙතරම් ඉක්මනට දුෂ්‍යන්ත වෙනුවෙන් ඔසවන්නට සිදුවේයයි අපි සිතුවේ නැහැ. සදාදර කලණ මිතුර, ඔබට නිවන් සුව.! (ර)
නිවන් සුව සුමිතුරාණනි! (නි)
ඔබට නිවන් සුව දුෂ්‍යන්ත අයියේ! (නි)
නිවන් සැප ලැබේවා! ඔහු වෙනුවෙන් ඔහුගේ දරුවන් අපි රැකගනිමු (නි)
අාදර මිතුර, අප එක වෘත්තිය කළෙමු. ඔබට නිවන් සුව ලැබේවා! සයුරෙන් එතෙර සිටි මට වේදනාවක් දැනුනි (නි)