ප්‍රබල භූමිකම්පා දෙකකින් සහ අතුරු භූමිකම්පා මාලාවකින් ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව කැලඹුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමිකම්පාවලින් මියගිය ගණන 39 ක් බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත්ය.

භූමිකම්පා හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇතැයි පැවැසෙයි. සහන සේවකයන් පැහැසුවේ බරපතල තුවාල ලැබූවන් සුන්බුන් අතරේ සිටින බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්ය.

භූමිකම්පාවලින් වැඩිපුරම හානි සිදුවුණු බව පැවැසෙන්නේ කැරකස් අගනුවරටය. භූමිකම්පා හට ගනිද්දී කැරකස් වැසියෝ මහත් සේ භීතියට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

පළමු භූමිකම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් සටහන් කළ අතර ඉන්පසු හටගත් දෙවැනි භූමිකම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළේය. පසු භූකම්පන හටගත්තේ ඒ අතර කාලයේය.

භූමිකම්පා හටගනිද්දී කැරකස් අගනුවර වෙළෙඳ සංකීර්ණ තුළ සිටි ජනතාව බියෙන් කෑගසමින් කලබලයට පත්වන ආකාරයත්, මහල් ගොඩනැගිලි සහ කාර්යාලවල සිටි සිය ගණනක් පිරිස් ඒවායින් පිටතට දිව යන ආකාරයත් දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. භූමිකම්පාවල බලපෑම අසල්වැසි කොලොම්බියාවේ අගනුවර වන බොගෝටා දක්වා ද පැතිර ගිය බව ද වාර්තා වේ.

මේ අතර, වෙනිසියුලා අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළාය. ඇය රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් කියා ඇත්තේ, මෙම අනතුරින් මියගිය අයගේ පවුල්වලට තමා බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවය. භූමිකම්පා සහන සේවා කටයුතු අධීක්ෂණය සඳහා හමුදා ජෙනරාල්වරයකු ද පත් කළ බව අන්තර්වාර ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් පැවැසුවාය.