(යොහාන් භාසුර)

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්‍රෑම් ලක්‍ෂ 20 කට අධික බරකින් යුත් ‘ගැනට්‍රි  දොඹකර’ හතරක් කපා ඉවත්කිරීමේ රුපියල් කෝටි 20කට අධික දැවැන්ත ටෙන්ඩරය ප්‍රදානය කිරීම තෙවැනි වරටත් කල්දැමීමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි  ඉල්ලුම් කරුවෝ පවසති.

එම ටෙන්ඩරය සමාලෝචනය කරන ලෙස ඉල්ලමින් ඇතැම් ඉල්ලුම්කරුවන් ජනාධිපතිවරයාට පැමිණිළි කර ඇති බව ද වාර්තාවේ.

රුපියල් කෝටි 20 කට අධික වටිනාකමින් යුත් මෙම ටෙන්ඩරයේ ඉල්ලුම්කරුවන් සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමෙන් තරගකාරිත්වය නැතිකිරීම හරහා රජයට පාඩුවක් වියහැකි බවත් නිලටෙන්ඩර් පත්‍ර ඉදිරිපත් කළ 11 දෙනා දෙදෙනෙක් (02) දක්වා අඩු කිරීමේදී පළපුරුදු ආයතන කීපයක් ඉවත්කිරීමට කටයුතු කර ඇති බව වරාය ක්ෂේත්‍රයේ ප්‍රවීණ පරිපාලකයෝ සඳහන් කරති.

කොළඹ වරායේ මීට පෙර ‘ගැනට්‍රි  දොඹකර’ කපා ඉවත්කිරීමේ ටෙන්ඩරය ලැබූ සමාගම සහ පසුව දෙවැනි පාර්ශවකරු ලෙස එම කාර්ය ක්‍රියාත්මක කළ සමාගම ඇතුළු පළපුරුදු සමාගම් කීපයක් අවසන් ඉල්ලුම්කරුවන්ගේ ලැයිස්තුවෙන් කපාහැර ඇති බවත් එම ටෙන්ඩරය ප්‍රදානය කිරීම මෙම මස 16 වැනිදා සිට 28 වැනිදා දක්වා කල්දැමූ අතර එය මේ වන විට අගෝස්තු මස 11 වැනිදා දක්වා කල්දමා ඇති බවත් ඔවුහු පැවසූහ.