(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

විදුලි බිල වැඩි කිරීමක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .

මේ වන විට බේකරිවල විදුලි බිල දැනටත් තිබුණු මිලට වඩා දෙගුණ වී ඇතැයි පවසන ජයවර්ධන මහතා නැවත විදුලි බිල වැඩි කළහොත් බේකරි කර්මාන්ත කරුවන්ට කිසිසේත්ම දරාගත නොහැකි වන බව ද පැවසීය.

මේ වන විටත් බේකරි කර්මාන්තය ට අවශ්‍ය පාන් පිටි ,බිත්තර, සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් ,ඉන්ධන සහ විදුලි බිල වැඩි වීමත් හමුවේ බේකරි කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වී ඇතැයිද ඔහු කියා සිටී.

මෙම තත්ත්වය මත යම් හෙයකින් විදුලි බිල ද නැවත වැඩි කිරීමක් සිදුකළ හොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ වුවහොත් බේකරි කර්මාන්තය තවත් බිඳ වැටීමට හේතු විය හැකි බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.